වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබා නොදුන් පිරිසකගේ ලැයිස්තුවක් නිකුත් කරයි

2025 මාර්තු 25 වනදා වන විට 2024 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගේ ලැයිස්තුවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම ලැයිස්තුවට හිටපු අමාත්‍යවරයෙක්, හිටපු පළාත් ආණ්ඩුකාරවරුන් හතර දෙනෙක්, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 6 දෙනෙක්, හිටපු තානාපතිවරුන් 29 දෙනෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඇතුළත් බව සඳහන්.

එලෙස වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් හිටපු අමාත්‍යවරයා වන්නේ හිටපු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා වන අතර, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, තාරක බාලසූරිය, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ සුරේන් රාඝවන් යන පිරිසද වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බව වැඩිදුරටත් සඳහන්.