පානදුර ප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකගේ බැංකු ගිණුමෙන් රුපියල් දෙකෝටි අටලක්ෂයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ, ජාඇළ, මිනුවන්ගොඩ සහ ඒකල යන ප්‍රදේශවල පදිංචි, වයස අවුරුදු 33 – 46 අතර පසුවන පුද්ගලයින් සිව්දෙනෙක් බවයි පොලීසිය සඳහන් කළේ.
විහාරාධිපති හිමියන් විසින් පානදුර ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක සිය බැංකු ගිණුම පවත්වාගෙන ගොස් තිබුණු බවත්, මීට කලකට පෙර උන්වහන්සේගේ හැඳුනුම්පත අස්ථානගත වී ඇති බවත් සඳහන් වෙනවා.
මෙම සැකකරුවන් විසින් එම බැංකුවේම වෙනත් බැංකු ශාඛාවකදී, අවස්ථා කිහිපයකදී උන්වහන්සේගේ ගිණුමෙන් මුදල් සිය ගිණුම් වෙත මාරු කරගෙන, පසුව මුදල් ලබා ගෙන ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.