ඩෙබිට් – ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සඳහා පනවා ඇති අමතර ගාස්තු අහෝසි කිරීමට සාකච්ඡා

ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සඳහා පනවා ඇති අමතර ගාස්තු (Additional Charges) ඉවත් කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාර්තා වෙනවා.

මෙම යෝජනාව සහ එහි මූල්‍යමය බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සමඟ මූලික සාකච්ඡා පවත්වා තිබෙනවා.

කාඩ්පත් භාවිතයෙන් ගනුදෙනු කිරීමේදී දැනට පාරිභෝගිකයාට දැරීමට සිදුවන ගාස්තු සහ පාඩු පියවා ගැනීම සඳහා සුදුසු යාන්ත්‍රණ ගවේෂණය කිරීම කෙරෙහිද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු වී ඇති අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, මුදල් රහිත සමාජයක් (Cashless Society) කරා ශ්‍රී ලංකාව ගෙනයාමේ වැඩසටහනට සමගාමීව, අනාගතයේදී සියලුම ගනුදෙනු ක්‍රමයෙන් QR කේතය මත පදනම් වූ ජංගම ගෙවීම් වෙත මාරු කිරීමට සැලසුම් කර ඇති බවයි.