ලංගම කොන්දොස්තරවරයෙකුට පහරදීමක්

කොළඹ සිට කතරගම දක්වා ගමන්ගත් ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙකුට ගාල්ල නගරයේ දී අද (21) පෙරවරුවේ පහරදීමක් සිදුව ඇත.

කටුබැද්ද ඩිපෝවට අයත් මෙම බස්රථය කළුතර නගරයේ දී කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඉස්සර කර තිබේ.

ඊට උරණ වූ පෞද්ගලික බස් රථයේ රියදුරු එම අවස්ථාවේ දී ලංගම කොන්දොස්තරවරයාට පහරදීමට උත්සාහ කර ඇතත්, බස් රථයේ මගීන්ගේ මැදිහත්වීම මත එය ව්‍යර්ථ වී ඇත.

කෙසේ වෙතත් ලංගම බස් රථය ගාල්ලට පැමිණ මගීන් බස්සවමින් සිටියදී, ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති පුද්ගලික බස් රථයේ රියදුරු කොන්දොස්තරවරයාට පහර දී තිබේ.

එහිදී ලංගම රියදුරු විසින් සිය බස් රථයෙන්ම තුවාල ලැබු කොන්දොස්තරවරයා මගීන් ද සමග ගාල්ල පොලීසියට රැගෙන ගොස් ඇත.

එම අවස්ථාවේ දී පොලීසිය මැදිහත්වී සුවසැරිය ගිලන් රථයකින් තුවාල ලැබූ කොන්දොස්තරවරයා රෝහල් ගතකිරීමට පියවර ගෙන තිබේ.

ඔහු මේ වනවිට ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ලංගම බස් රථයේ පැමිණි මගීන් වෙනත් ලංගම බස් රථයක නංවා පිටත්කර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.