අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව ලැබුණු පැමිණිල්ල ගැන අල්ලස් කොමිසමෙන් නිවේදනයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් 2014 වසරේදී අවිධිමත් ආකාරයට සිය දරුවා කොළඹ ප්‍රධාන පෙළේ විද්‍යාලයකට ඇතුළත් කර ඇතැයි කියන සිදුවීමක් පිළිබඳව අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ල සම්බන්ධව අල්ලස් කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයින් තිදෙනාගේ විධානය පරිදී දූෂණ විරෝධි පනතේ 42 (1) වගන්තිය යටතේ මූලික පරීක්ෂණයක් මේ සම්බන්ධව සිදුකළ බවත්, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව ලැබුණු පැමිණිල්ලක් බැවින් මෙම පැමිණිල්ල පිළිබඳව ප්‍රමුඛතාවය ලබා දී කඩිනමින් විමර්ශනය කළ බවයි අල්ලස් කොමිසම සිය නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

අදාළ විමර්ශනයේදී අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සහ කොළඹ පිහිටි එම විද්‍යාලයෙන් වාර්තා කැඳවා ඇති අතර, අධිකරණ නිලධාරීන්ගේ දරුවන් පාසල් වෙත ඇතුළත් කිරීම පිළිබඳව අංක SCFR 235/2011 දරන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ මත අදාළ දරුවා පාසලට ඇතුළත් කිරීම සිදුව ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙම දරුවා පාසලට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තුළ ආයතනික ක්‍රමවේදයන් හි අක්‍රමිකතාවයක්, පක්ෂග්‍රාහී හෝ අනීතික ක්‍රියාවක් හෝ දේශපාලන මැදිහත්වීමක් සිදුව නොමැති බවට කොමිෂන් සභාව තීරණය කළ බවයි අල්ලස් කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.