ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ත්‍රිවිධ හමුදාව එක්ව, පොලිස්තුමාගේ අධීක්ෂණ යටතේ මේ දිනවල ක්‍රියාත්මක වන විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා.
ඒ අනුව, 2025 වසරේ මේ දක්වා සිදුකළ මෙම මෙහෙයුම් හරහා පුද්ගලයින් ලක්ෂ 51 ක් තීව්ර ලෙස පරීක්ෂා කිරීම්වලට ලක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වූට්ලර් පවසා සිටියේ.
එසේම, ඒ පරීක්ෂා කිරීම් හරහා එක් ලක්ෂ හාරදහසක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා යොමු කර ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.
මෙම ප්‍රශ්න කිරීම් හරහා විවිධ අපරාධකරුවන් 4,630 ක් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන් හඳුනාගැනීමට හැකියාව ලැබී ඇති බවත්, ඒ අනුව, ස්ත්‍රී දූෂණ, සොරකම්, වංචාවන්, කොල්ලකෑම්, සාපරාධී සාවද්‍ය පරිහරණයන්, විශ්වාසය කඩ කිරීම් ආදී සියලුම අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් හඹා යෑමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
එසේම, මේ වන විට මේ වසර තුළ දින වරෙන්තුකරුවන් 45,490 ක් අත්අඩංගුවට ගත් බවත්, විවෘත වරෙන්තු කරුවන් 30,884 ක් අත්අඩංගුවට ගත් බවත්, ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ බවත් ඔහු පෙන්වා දුන්නා.
විශේෂ රථවාහන මෙහෙයුම් හරහා බීමත් රියදුරන් 46,910 කට නඩු පවරා ඇති බවද, අපරික්ෂාකාරී ලෙස, අන්තරාදායක ලෙස සහ වේග සීමා උල්ලංඝණය කරමින් රිය පැදවූ 2,404 ක් සඳහා නීතිය ක්‍රියාත්මක කළ බවද මෙහිදී අනාවරණය වුණා.