රනිල් සිරගත කිරීමෙන් විසිරී තිබූ විපක්ෂයම සමගි වුණා

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර ගත කිරීමෙන් විසිරී තිබූ විපක්ෂයම සමගි වූයේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

ඔහු බන්ධනාගාර ගතවීමට පෙර විපක්ෂය එක් කිරීමට උත්සාහ කළද, එය ව්‍යාර්ථ වු බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර සමුළුව කොළඹදී පැවැත්වූ අවස්ථාවේදී යි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මෙසේද ප්‍රකාශ කළා.

“ඔබතුමාගේ ඇතුළට (බන්ධනාගාරගත වීම) යෑම අපි කාගේවත් කැමැත්ත නොවුණත් ඔබතුමා ඇතුළට යෑම ඓතිහාසික කාර්යභාරයක ආරම්භයක් බවට පත්වුණා. ඔබතුමා එළියයේ ඉඳන් කරන්නගිය දේ ඇතුළතට ගියාම වුණා. එදා මුළු විපක්ෂයම සමගි වුණා. මේ එදා ගොඩනැගුණු තාවකාලික සමගිය සදාකාලික සමගියක් බවට පරිවර්තනය කරන්න කාලයයි. ඒ සමගිය මේ ෆැසිස්ට්වාදය පරාජය කරන තුරාවටම පවත්වගෙන යෑම අද යුගයේ අපේ කර මත තියෙන අභියෝගයක්. ඒ ඉටුකිරීමට මූලිකත්වය ගත හැක්කේත්, ගත යුත්තේත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා විපක්ෂයේ තිරසර සමගියක් ගොඩනගන්නට එක්සත් ජාතික පක්ෂයේ නායකතුමන්ටත් එක්සත් ජාතික පක්ෂයටත් නුදුරු දිනයක හැකි වේවා! “