“ළමා දින ජාතික සතියක්” ප්‍රකාශයට පත්කෙරේ

ඔක්තෝබර් පළමු වැනිදාට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව “ළමා දින ජාතික සතියක්” රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ මස 25දායින් ආරම්භව ඔක්තෝබර් 01දා පැවැත්වෙන ළමා දින ජාතික ප්‍රධාන සැමරුමෙන් අවසන් වන පරිදි “ළමා දින ජාතික සතිය” ක්‍රියාත්මකය. මෙවර ලෝක ළමා දිනය “ආදරෙන් සුරකින්න – අපිට ලොව දිනන්නට” තේමාවෙන් සමරනු ලැබේ.

ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම ආයතන ඒකාබද්ධව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් හා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් ලෝක ළමා දිනය දා ජාතික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබේ.

ඒ අනුව ළමා දින ජාතික සතිය ආරම්භ වන මේ 25දා ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට විදුහල්පතිවරුන්ගේ භූමිකාව පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

පාසල් දරුවන් ප්‍රවාහනය කරන රථවාහන දීපව්‍යාප්තව පරීක්ෂා කිරීම හා ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පොලීසිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඒකාබද්ධව මේ 26 වැනිදා රට පුරා පැවැත්වීමට නියමිතය.

පාසල් ළමා ආරක්ෂක කමිටු පිහිටුවීම සහ ප්‍රතිසංවිධාන කිරීමේ වැඩසටහනක් ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව එදිනම ක්‍රියාත්මක කරයි. ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පෙර පාසල් ගුරු භූමිකාව පිළිබඳව පාලිකාවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් 27දා පැවැත්වේ.

මත් උවදුරින් දරුවන් මුදාගැනීම පිළිබඳ ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පොලීසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය එක්ව 28දා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් පවුල මූලික කරගත් රස වින්දනාත්මක වැඩසටහනක් ‘ළමා අයිතිවාසිකම් සුරකීමට ආගමික නායකයන්ගේ කාර්යභාරය’ මැයෙන් 29 වැනිදා පවත්වනු ලැබේ.

මේ මස 30දා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව රට පුරා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ලෝක ළමා දිනය යෙදෙන ඔක්තෝබර් 01දා ජාතික ළමා දින ප්‍රධාන උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එම උත්සවයෙන් පසු ළමා දින සතිය අවසන් වේ.

අනාරක්ෂිත දරුවන් හඳුනාගැනීම සහ වීදි දරුවන් පරීක්ෂා කිරීමට අදාළ වැටලීම් ළමා දින ජාතික සතිය පුරාම ශ්‍රී ලංකා පොලීසියේ මෙහෙයවීමෙන් මීට අමතරව සිදු කෙරෙනු ඇත.