විදේශ රැකියාවකට ගොස් සිටියදී මිය යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු වෙනුවෙන් ලබාදුන් වන්දි මුදල රුපියල් ලක්ෂ 6 සිට ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගත වන ඕනෑම ශ්‍රී ලාංකිකයකු මියගිය අවස්ථාවක ඔහුගේ යැපෙන්නන් වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල මෙලෙස ඉහළ නංවා තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි.
මේ වසරේ අගෝස්තු මාසයේ අවසානය වන විට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් අමෙරිකානු ඩොලර් බිලියන 5.2ක් මෙරටට ප්‍රේෂණය කර තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා මේ වසරේ මේ දක්වා කාලයේ දී ශ්‍රී ලාංකිකයන් 220,000ක් පමණ රැකියා සඳහා විදෙස්ගත වී තිබෙන බව පෙන්වා දුන්නේය. මේ වසරේ අවසානය වන විට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 7 දක්වා වර්ධනය කරගැනීමට හැකි වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කරයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ලබන වසරේ දී විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 7.5 දක්වා වර්ධනය කරගැනීමට හැකි වනු ඇති බවත් මේ වසරේ ගතවූ කාලයේදී විදෙස් ප්‍රේෂණ ලැබීම සාර්ථක ලෙස ඉහළ ගොස් තිබෙන බවත් ය.
යම් යම් පාර්ශ්ව විසින් විදේශ රැකියා අපේක්ෂාවෙන් විදේශගත වන ශ්‍රී ලාංකිකයන් රැවටීමට ලක්කරන බව සඳහන් කළ සභාපතිවරයා එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන තෙක් හඳුනා ගැනීමට හැකියාවක් නැතැයි ද විවිධාකාරයෙන් මුදල් එකතු කරගන්නා අවස්ථා පවතින බව ද පෙන්වා දුන්නේය.
කිසියම් රැකියා ඒජන්සියකට මුදල් ගෙවූ පසුව ඊට අදාළ රිසිට් පතක් ලබාගත යුතු බව ද ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියට අදාළ තොරතුරු ඇතුළත් කළා ද? නැද්ද? යන්න සොයා බැලිය හැකි බව ද සඳහන් කළ කෝෂල වික්‍රමසිංහ මහතා මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අලුතින් පොලිස් කණ්ඩායමක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත කරගන්නා බව ද පැවසීය.
වඩා කාර්යක්ෂමව හා වඩා විධිමත්ව ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීමට ඒ හරහා හැකි වනු ඇතැයි ද විගමනිකයකුගේ ජීවිත හානියකදී ලබාදුන් රුපියල් ලක්ෂ 6ක වන්දි මුදල මේ වන විට රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා තිබෙන බව ද සඳහන් කළේය.