ලංගම ඩිපෝ 25 ක් සංවර්ධනය කිරීම අද ඇරඹේ

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තෝරාගත් බස් ඩිපෝ 25 ක් සංවර්ධනය කිරීම අද (19) ආරම්භ වනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මූල්‍ය හා මෙහෙයුම් කාර්ය සාධනය ශක්තිමත් කිරීම, සේවා ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව හා මගී සුව පහසුව වැඩි දියුණු කිරීම එම ව්‍යාපෘතියේ අරමුණ බවයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.

ඩිපෝ සඳහා නව ආදායම් මාර්ග, නව සේවා හා ව්‍යාපාර අවස්ථා හඳුන්වාදීමත්, කාර්ය මණ්ඩලය අභිප්‍රේරණය කිරීම සඳහා කාර්ය සාධනය පදනම් කරගත් පද්ධති හඳුන්වාදීමත් මෙම ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට නියමිතයි.

අත්හැර දැමූ ග්‍රාමීය ප්‍රවාහන සේවාවන් නැවත ආරම්භ කිරීම, බස් රථවල මනා නඩත්තුව සහ විශ්වාසනීයත්වය සහතික කිරීම යනාදියද එහිදී සිදු කෙරෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.