මොළයේ සෛල කා දමන ඇමීබා ආසාදනයක් හේතුවෙන් ඉන්දියාවේ 19 ක් මරුට

ජලයෙන් බෝවන, දුර්ලභ “මොළය කා දමන” ඇමීබා ආසාදනයක් නිසා ඇතිවූ ආසාදන හා මරණ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ බලධාරීන් විසින් සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

primary amoebic meningoencephalitis නම් මෙම ආසාදනය නිසා පසුගිය වසරට සාපේක්ෂව ආසාදන හා මරණ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩිවීමත් සමග මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

2025 වසර ආරම්භයේ සිට මේ දක්වා රෝගීන් 69 ක් වාර්තා වී, ඉන් 19 ක් මියගොස් ඇති අතර, එයින් මරණ 03 ක් පසුගිය මාසයේ වාර්තා වී ඇති බවත්, ඊට මාස 03 ක් වයසැති බිළිඳකුගේ මරණයක්ද ඇතුළත් බවත් වාර්තා වෙනවා.

පසුගිය වසරේදී වාර්තා වූ රෝගීන් 36 දෙනෙකුගෙන් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම ඇමීබාව පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ නොවන අතර, ජලාශ සහ ගංගා වල ජීවත් වන ඇමීබාවන් නිසා ආසාදිත ජලය නාසය හරහා ශරීරයට ඇතුළු වීමෙන් රෝගය වැළඳෙන බවයි සඳහන් වන්නේ.

කේරළ රජය විසින් ළිං, ජල ටැංකි සහ පොදු ස්නාන ස්ථාන සහ, ඇමීබාවා සමඟ සම්බන්ධ වීමට ඉඩ ඇති යැයි සිතෙන ප්‍රදේශ ක්ලෝරිනීකරණය කිරීම ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.