ඇපල් iPhone 17 ඉන්දියාවේ අලෙවිය ඇරඹේ

ඇපල් සමාගමේ නවතම iPhone 17 මාදිලිය ඉන්දියාවේ නිල වශයෙන් අද (19) සිට අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, අද දින සිට ගැනුම්කරුවන්ට iPhone 17, iPhone Air, iPhone 17 Pro සහ iPhone 17 Pro Max යන නව මාදිලි හතර ලබා ගැනීමට හැකි වනු ඇති.

අලෙවිය ඇරඹීමත් සමග ඉන්දියාවේ මුම්බායිහි බන්ද්‍රා කුර්ලා කොම්ප්ලෙක්ස් (BKC) සහ දිල්ලිහි සාකේත්හි පිහිටි ඇපල් වෙළෙඳසැල් ඉදිරිපිට අද අලුයම 05 පමණ සිට දිගු පෝලිම් දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙය ඉන්දියාව පුරා ඇපල් iPhone සඳහා ඇති දැඩි උන්මාදය ඉස්මතු කර දක්වන බවයි වාර්තා පවසන්නේ.

ඇපල් සමාගම සිය “Awe Dropping” නමින් පැවති උත්සවයේදී, මූලික iPhone 17 මාදිලිය සහ නව iPhone Air මාදිලිය ප්‍රදර්ශනය කිරීමෙන් පසුව, සැප්තැම්බර් 9 වන දින iPhone 17 Pro සහ Pro Max මාදිලි එළිදැක්වූවා.

එමෙන්ම මෙම උත්සවයේදී නවතම Apple Watch Series 11, Watch Ultra 3, සහ Watch SE 3 මෙන්ම, වැඩි දියුණු කළ සෞඛ්‍ය සහ ශ්‍රව්‍ය හැකියාවන්ගෙන් යුත් නව AirPods Pro 3 ද එළිදැක්වීම විශේෂත්වයක්.

ඒ අනුව, iPhone 17 (256GB) ඉන්දියානු රුපියල් 82,900ක් පමණ (ශ්‍රී ලංකා රුපියල් 345,000ක් පමණ), iPhone Air (256GB) ඉන්දියානු රුපියල් 1,19,900ක් පමණ (ශ්‍රී ලංකා රුපියල් 389,000ක් පමණ), iPhone 17 Pro (256GB) ඉන්දියානු රුපියල් 1,34,900 ක් පමණ (ශ්‍රී ලංකා රුපියල් 510,000ක් පමණ) සහ iPhone 17 Pro Max (256GB) ඉන්දියානු රුපියල් 1,49,900 ක් පමණ (ශ්‍රී ලංකා රුපියල් 585,000ක් පමණ) ලෙස මිල ගණන් දැක්වෙනවා.

ඉන්දීය ගැනුම්කරුවන්ට, තෝරාගත් බැංකු සහ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරමින් මෙම දුරකථන පූර්ව-ඇණවුම් කිරීමේදී (pre-booking) ඉන්දියානු රුපියල් 6,000ක ක්ෂණික මුදල් ආපසු දීමේ (instant cashback) දීමනාවක් ලබා ගැනීමට අවස්ථාව හිමිවන අතර, මෙම දීමනාව හේතුවෙන් මූලික iPhone 17 මාදිලියේ මිල ඉන්දියානු රුපියල් 76,900 දක්වා අඩුවනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.