වසර පහකට පසු පුත්තලමේ වාර්තා ගත ලුණු අස්වැන්නක්

පවතින වියලි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තා ගත ලුණු අස්වැන්නක් ලැබි ඇතැයි ලුණු නිෂ්පාදකයින් පවසනවා.

ඉදිරි දින කිපයද පුත්තලමේ වියළි කාලගුණ තත්වයක් පැවතුනොහොත් රටේ ලුණු අවශ්‍යතාවයෙන් විශාල දායකත්වයක් පුත්තලමෙන් ලබා දිය හැකි මට්ටමක පවතින බව ද ඔවුන් සඳහන් කරනවා.

මෙලෙස පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා ගත ලුණු අස්වැන්නක් ලැබෙමින් පවතින්නේ වසර පහකට පසු බවත් එය මේ වන විට එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂය ඉක්මවිය හැකි මට්ටමක පවතින බවත් ලුණු වගාකරුවන් පවසනවා.

පසුගිය වසර ගනනාවක නොකඩවා ඇද හැළුන මහ වැසි සමග පුත්තලම ලුණු නිෂ්පාදනය සම්පුර්ණයෙන් නැවති ගොස් ලුණු ලේවායන් වැසි ජලයෙන් යටවි කර්මාන්තය අඩාල වි තිබු බව ලුණු නිෂ්පාදකයෝ සඳහන් කළා.

ඒ හේතුව නිසාම රටේ ලණු අවශ්‍යතාවයට උවමනා ලුණු තොග ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් ආනයනය කිරීමට රජය කටයුතු කර තිබුනේ ලුණු හිගයට පිළියම් ලෙසින්.

ශ්‍රි ලංකාවේ සමස්ථ ලුණු අව්‍යශතාවය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ අසුදහසකට ආසන්න වන අතර, එය ආහාර හා අනිකුත් නිෂ්පාදන සදහා අවශ්‍ය ප්‍රමාණය වන බවද ඔවුහු පවසනවා.

පුත්තලම හැරුණ විට එලිෆන්ට්පාස් හා හම්බන්තොට ලුණු නිෂ්පාදනය ඉහල මට්ටමක පවතිනවා.

වසර ගනනාවකින් පසු සාර්ථක ලුණු අස්වැන්නක් ලැබිම සම්බන්ධයෙන් වගාකරුවන් මෙලෙස අදහස් දක්වන්නට වුණා.

එම්.යු .අෆ්රුෂ් –

“මේ පාර අපිට හොද ලුණු අස්වැන්නක් ලැබි තිබේනවා.ඒ අවුරුදු ගානකට පස්සේ. මේ මගේ ලුණු ඉඩම නොවේයි තාත්තාගේ ඉඩම. හැබැයි පවුලේ එකතුවෙන් අපි මේ අස්වැන්න ගන්නවා. පසුගිය කාලයෙ මිල පහල වැටිලා තිබුණත් දැන් ආයේ කිලෝ 50 මිටියක් 2000 ත් 2300 ත් අතර මුදලකට යනවා’’

එස්.එම්.රිස්වි –

“ඇත්තමට මේ පාර අපිට කාලයකින් හොද අස්වැන්නක් ලැබිලා තිබේනවා. නමුත් ඉන්දියන් ලුණු අපිට හිසරදයක් වෙලා. අපි කියන්නේ අපිට ලංකාවට අවශ්‍ය ලුණු හදන්න පුළුවන්. ඉන්දියාවෙන් ගේන්න එපා කියලා. මොකද අපේ ලුණුවල තියෙන රසය ඉන්දියන් ලුණුවල නැහැ.

පුත්තලම ලුණු නිපදවන්නන්ගේ සංගමයේ සභාපති රනිස් බදුර්දීන් –

“මේ වන විට අපේ සංගමයට අයිති බිම් ප්‍රමානයෙන් විතරක් මෙට්‍රික් ටොන් 50000 කට (පනස් දහකට) වැඩි ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. එය හොද අස්වැන්නක්. තවත් දින කිපයක් අව්ව වැටුණොත් තවත් මෙට්‍රික් ටොන් 10000 කට වැඩි ප්‍රමාණයක් ලබාගන්න හැකියාව පවතිනවා.”

ලුණු නිෂ්පාදකයකු වන නිලුක් දිල්හාන් –

“ ඇත්තටම මේ පාර අවුරුදු ගානකින් හොද අස්වැන්නක් ලැබේමින් පවතිනවා.එය අපේ කර්මාන්තයට හොද සුභවාදි දෙයක් .නමුත් මම නිෂ්පාදකයකු හා ඇසුරුම් කරුවෙකු ලෙස ව්‍යාපාරය කරගෙන යද්දි දකින් දෙයක් තමා ලංකාවේ ලුණු අවශ්‍යතාවයට ලුණු සංචිත ඉහල නංවා ගැනිමට නම් අඩුම ගානේ තවත් අක්කර 5000 ක බිම් ප්‍රමානයක ලුණු වගාකල යුතුයි යන්න. මොකද එසේ නොමැතිව අපිට රටේ ලුණු අවශ්‍යතාවයට සපයා දෙන්න හැකියාවක් නැහැ.”