මෙරට තුන්වැනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත වීම හෙට

මෙරට ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට (19) කක්ෂගත කිරීමට නියමිත බව මොරටුව ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කර තිබේ.

‘බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆලයි’ ලෙස නම්කර ඇති මෙම චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වනදා නාසා ආයතනය විසින් දියත් කළ එස්.පී.එක්ස් – 33 රොකට් මෙහෙයුම ඔස්සේ ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන ගොස් තිබේ.

2019 වසරේදී මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස ‘රාවණ් – 1’ චන්ද්‍රිකාවත් 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශවයන් 5ක සහභාගීත්වයෙන් යුක්ත වූ තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් මඟින් නිර්මාණය කළ ‘කිට්සුනේ’ චන්ද්‍රිකාවත් මීට පෙර කක්ෂගත කර තිබුණි.

ඒ අනුව බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆලයි නැනෝ චන්ද්‍රිකාව හෙට (19) පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හැරීමට නියමිත වේ.