මම නීතීඥවරයෙක් විදියට වැඩ කරලා, බදු ගෙවලා තියෙනවා – නාමල්

වත්කම් සම්බන්ධයෙන් තමන් විසින් කිසිඳු දෙයක් සඟවා නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව, තමන් දේශපාලනයට පැමිණි 2010 වසරේ සිට මේ දක්වා තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ නිසි ලෙස භාරදී ඇති බවත්, තමන් නීතීඥවරයෙක් ලෙසද කටයුතු කරමින් උපදේශනය ද සිදු කර ඇති බවයි අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් තම බිරිඳගේ වත්කම්ද තමා පිටට දමා කතා හැදීමට විවිධ පිරිස් උත්සාහ කරන බවත්, මේ දිනවල තම බිරිඳගේ වත්කම් තමා පි‍ට පටවා ‘නාමල්ට හෝටලයක් තිබෙන බවට’ ද ඇතමුන්ට ප්‍රකාශ කළ හැකි බවත් ඔහු පැවසුවා.

තම බිරිඳගේ පවුල තමන්ට වඩා හොඳ ව්‍යාපාරික පවුලක් බවද, දෑවැද්දක් හමුවී ‘Run කිරීමටත්’ පිනක් තිබිය යුතු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

තමන්ට සැඟවීමට දෙයක් නොමැති බවත්, නමු‍ත් ‍මේ වන විට යම් යම් දේවල් සඟවන ලද පිරිස් කලබලයට පත්ව ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.