රුපියල් පන්දාහේ ව්‍යාජ මුදල් නෝට්ටු කොළ එකසිය හතලිස් පහක් සහ ඒවා මුද්‍රණය කිරීමට භාවිතා කරන ලද ලැප්ටොප්, පරිගණක සහ තවත් උපකරණ කිහිපයක් සමග සැකකරුවන් සිව්දෙනකු අද (18) අලුයම කළ වැටලීමකදී අනුරාධපුරය මැදවච්චිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසනවා.
ප්‍රධාන සැකකරු මගින් හබරණ ප්‍රදේශයේදී රුපියල් පන්දාහේ නෝට්ටුවක් සංසරණය වීම පිළිබඳ ලද තොරතුරක් අනුව මෙම සැකකරු හරහා අනෙකුත් මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන හබරණ පොලිසිය සඳහන් කරනවා.
මෙම සැකකරුවන් මැදවච්චිය ප්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර, හබරණ ප්‍රදේශයට පැමිණ ඒවා මාරු කරගෙන ඇති බවටත්, මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට සිදුකරගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවද හබරණ පොලිසිය පවසනවා.
සැකකරුවන් අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසනවා.
හබරණ පොලිස් ස්ථානාධිපති පාලිත ඉලංගසේකරගේ උපදෙස් අනුව, වැඩ බලන පොලිස් ස්ථානාධිපති විමල් සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම සැකකරුවන් සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ උපකරණ මෙන්ම සැකකරුවන් අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද හබරණ පොලිසිය පවසනවා.