තිස්සමහාරාමයේ මිතුදමක අවාසනාවන්ත අවසානයක් – මිතුරාගේ සිරුර ඇළකින් හමුවෙයි

තිස්සමහාරාම පොලිස් වසමේ සඳුන්ගම ප්‍රගති මාවත ප්‍රදේශයේ ඇළකදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙන බව තිස්සමහාරාම පොලිසිය වාර්තා කරයි.

මෙම සිද්ධිය ඊයේ (17) සවස් කාලයේදී සිදුව ඇති අතර, පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු ලෙස හඳුනාගෙන ඇත්තේ වයස අවුරුදු 45ක් වන තිස්සමහාරාම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම ඝාතනය සිදුව ඇත්තේ මරණකරු සහ සැකකරු අතර ඇතිවූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් බවයි.

දෙදෙනා මිතුරන් වන අතර, ආරවුල අතරතුර බෝතලයකින් පහරදී පසුව මරණකරු දියේ ගිල්වා මෙම ඝාතනය සිදු කර ඇති බවට සැක කරයි.

මෙම සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 24ක් වන සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

තිස්සමහාරාම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.