මෝදිගේ 75 වැනි උපන්දිනයට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අදට යෙදී ඇති ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා එලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමතා ඇති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද ට්‍රම්ප්ගේ දුරකතම ඇමතුමට ප්‍රතිචාර දක්වා ඇති අතර ඔහුගේ සුබ පැතුම වෙනුවෙන් ස්තූතිය පළ කර තිබෙනවා.

තවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලබා දුන් දුරකතන ඇමතුම සම්බන්ධයෙන් ට්‍රම්ප් සිය truth social ගිණුමේ සටහනක් ද පළ කර තිබෙනවා.

ඔහු එමගින් පවසා ඇත්තේ සිය මිත්‍ර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත අපූරු දුරකථන ඇමතුමක් ලබා දුන් බවයි.

තමන් ඔහුට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කළ බවත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස මෝදි විශිෂ්ඨ කාර්යයක් සිදු කරන බවත් ට්‍රම්ප් සටහන් කර තිබෙනවා.

එමෙන්ම රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය අවසන් කිරීමට ඔබ දැක්වූ සහයෝගයට ස්තූතිය පළ කරන බව ද ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය සටහනේ දක්වා තිබුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද සමරනු ලබන්නේ ඔහුගේ 75 වන උපන් දිනයයි.