සජබයට එක්වූ සාමාජිකයින්ට පනවා තිබූ තහනම එජාපය ඉවත් කරයි

සමගි ජන බලවේගයට එක් වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට ඊයේ සවස රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

එහි දී මේ සම්බන්ධ නීතිමය පසුබිම හා පැනනැගිය හැකි ගැටලු සොයාබැලීම සඳහා හිටපු නීතිපති ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද පියවර ගෙන ඇත.

සමගි ජන බලවේගයට එක්වූ එජාප පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ගත් මෙම පියවර නිසා යළි එජාපයට එක්වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එජාප නායක හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.