තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු මරුට

කොටහේන පොලිස් වසමේ බෝධිරාජ මාවත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ඊයේ (16) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව කොටහේන පොලිසිය සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 35ක් වූ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු හා අසල්වැසි පුද්ගලයෙකු සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.