GovPay දකුණු පළාතටත්

GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා එක්වෙමින් දකුණු පළාත පුරා විහිදී සියළුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල  මාර්ගගත ක්‍රමයට ගෙවීම් පිළිගැනීම ඊයේ (15) ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ  ප්‍රධානත්වයෙත් මාතර දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ දී ආරම්භ විය.

ඒ අනුව, GovPay හරහා, පළාතක් යටතේ එන සියළුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල ඩිජිටල් ගෙවීම් මඟින් සවිගැන්වුනු ප්‍රථම පළාත ලෙස දකුණු පළාත ඉතිහාසගත විය.

මෙම සමාරම්භක උළෙලට , පාර්ලිමේන්තු මන්ත්‍රී  අක්‍රම් ඉල්ලියාස්, පාර්ලිමේන්තු මන්ත්‍රී   ලාල් ප්‍රේමතිලක, ICTA ආයතනයේ අධ්‍යක්ෂක හර්ෂ පුරසිංහ, LankaPay ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න ඇතුළු සම්භාවනීයයන් රැසක් සහභාගී විය.

ඒ අනුව, දකුණු පළාත පුරා විහිදී දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාල 3කට සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල 53කට, GovPay හා සම්බන්ධ තම බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ/මොබයිල් බැංකුකරණ පෝටලයන් හෝ GovPay හා සම්බන්ධ ඕනෑම FinTech යෙදුමක් හරහා ක්ෂණිකව, පහසුවෙන් සහ සුරක්ෂිතව ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට මාර්ගගත ක්‍රමයට ගෙවීම් කිරීමේ පහසුව දකුණු පළාතේ ජනතාවට සැලසී ඇත.

ඒ අනුව සමඟම GovPay හා සම්බන්ධ රාජ්‍ය ආයතන සංඛ්‍යාව මේ වන විට 132 දක්වා ඉහල ගොස් ඇත.

මේ වසරේ පෙබරවාරි මස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කළ GovPay හරහා මේ වන විට රාජ්‍ය සේවා 1,767 ක් සඳහා රුපියල් මිලියන 110 කට අධික වටිනාකමකින් යුත් ගෙවීම් සිදුකර ඇති අතර බැංකු 14ක් සහ FinTech යෙදුම් 6ක් GovPay හා සම්බන්ධ වී ඇත.

දකුණු පළාත මෙලෙස GovPay හා සම්බන්ධ වීම මෙතෙක් මෙම ව්‍යාපෘතිය ලඟා වූ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන අතර එය ආදර්ශයට ගනිමින් දිවයින පුරා ඇති සෙසු පළාත් සහ රාජ්‍ය පරිපාලන ඒකකද GovPay හා සම්බන්ධ වීම කඩිනම් වනු ඇතැයි බලාපොරොත්තු වේ.

මෙම ඓතිහාසික සංධිස්ථානය පිළිබඳ තම අදහස් දක්වමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය  එරංග වීරරත්න මහතා පවසා සිටියේ “පළාතක් ලෙස, සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල GovPay හා සම්බන්ධ වන ප්‍රථම පාළත ලෙස දකුණු පළාත, පූර්ණ වශයෙන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ බලගැන්වුනු රාජ්‍ය සේවයක් කරා රට රැගෙන යාමේ මෙම දැවැන්ත ව්‍යාපෘතියේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරනවා. මහජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි විනිවිදභාවයෙන් යුත් රාජ්‍ය සේවයක් ඇති කිරීම තුළින්, අකාර්යක්ෂමතාවයන් අවම වනවා පමණක් නොව, රාජ්‍ය සේවය පිළිබඳ මහජන විශ්වාසයද වැඩි දියුණු වෙනවා. රජයක් ලෙස අපේ පරමාර්ථය, රට පුරා සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් සේවාවන්හි පහසුව සහ සුරක්ෂිතවභාවය විඳීමේ අවස්ථාව උදාකිරීම සහ ඒ තුළින් සියළු දෙනා ඇතුලත් සමාජයක් බිහිකිරීමයි.”බවයි.

මෙම සුවිශේෂී අවස්ථාව පිලිබඳ තම අදහස් දක්වමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අක්‍රම් ඉල්ලියාස් මහතා කියා සිටියේ ” පළාතක් වශයෙන් දකුණු පළාතේ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල ඇතුළු  සියලුම රාජ්‍ය ආයතන සඳහා ඩිජිටල් ගෙවීම් හඳුන්වා දීමට ලැබීම විශාල ජයග්‍රහනයක්, දශක ගණනාවක් පුරාවට ලංකාව පසුපසින් සිටි ඩිජිටල්කර්ණය මාස 8 ක් වැනි කෙටි කාලයක් තුළ සක්‍රීය කර ගැනීමට අපට හැකි වුණා. ලංකාව මුළුමණින්ම ඩිජිටල්කරණය කිරීමෙන් පසුව අපට 100% වංචා, දූෂණ වලට තිත තබන්න්නට හැකිවනු ඇත. යනුවෙනි.

දකුණු පළාතේ සියළුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල මෙලෙස GovPay හා සම්බන්ධ වීම පිළිබඳ, ICTA ආයතනය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂක හර්ශ පුරසිංහ මහතා මෙලෙස තම අදහස් දැක්වීය “දකුණු පළාත පුරා විහිදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල 53ක්, එකවර GovPay හා සම්බන්ධ වීම ඩිජිටල් ගෙවීම් හරහා මොනතරම් දුරට ජනජීවිතය වෙනස් කල හැකිද යන්නට මනා උදාහරණයක්. අද සිට, දකුණු පළාතේ  මහජනතාවට, පහසුවෙන් සහ විනිවිදභාවයකින් යුතුව මෙම ආයතන විසින් සපයනු  ලබන රාජ්‍ය සේවාවන් සඳහා මාර්ගගත ක්‍රමයට ගෙවීම් සිදුකිරීමට හැකි වීම, අනෙකුත් පළාත් වලත් GovPay දියත් කිරීමට විශාල පිටුවහලක් වෙන බව නොඅනුමානයි.අපේ අරමුණ හුදෙක් තාක්ෂණය ප්‍රචලිත කිරීම නොව, තාක්ෂණය හරහා මහජනතාවට සැබෑ පහසුවක් ලබාදී, ඒ තුලින්  ඩිජිටල් රාජ්‍ය සේවයේ ප්‍රතිලාභ සියළුම දෙනාට යතාර්ථයක් කරදීමයි.”

එසේම මෙම අවස්ථාවට සම්බන්ධ වූ GovPay ව්‍යාපෘතියේ තවත් මූලික හවුල්කරුවකු වන LankaPay ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, චන්න ද සිල්වා මහතා  කියා සිටියේ “තම පළාත තුල ඇති සියළුම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල එක වර GovPay හා එක්වන ප්‍රථම පළාත වීම පිළිබඳ දකුණු පළාතට අපේ සුභාසිංශනය පිරිනමනවා. මෙය මුදල් රහිත ගනුදෙනු මහජනතාව අතරට ගෙන යෑම යතාර්ථයක් කල හැකි බවට මනා උදාහරණයක් වෙනවා. කාර්‍යක්ෂම, විනිවිදභාවයකින් යුතු, සුරක්ෂිත සහ සැම දෙනා ඇතුලත් ඩිජිටල් ආර්ථිකයක් කරා යන මෙම ගමනේදී, අප සියළු දෙනාටම යම් කාර්‍යභාරයක් පැවරෙනවා. මෙම මුලපිරීම හරහා දකුණු පළාත එය මනා ලෙස ඉටුකරමින් ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකොට තිබෙන්වා.”යනුවෙනි.

ඒ අනුව GovPay පද්ධතිය දකුණු පළාතට දියත් කිරීම මඟින් ජනතාවට නවීන, කාර්‍යක්ෂම සහ විශ්වාසනීය ගෙවීම් සේවා වඩාත් සාර්ථකව ඉටු වන අතර මෙම ව්‍යාපෘතිය තුළින් රජයේ සේවා ලබාගැනීමේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරමින්, නාගරිකයින්ට සහ රජයේ ආයතන එක්ව ගොඩනගන ඵලදායී සහ ජනහිතකාමී පද්ධතියක් නිර්මාණය  කිරීම අරමුණ වේ.