සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් වගාවන් ගිනි තැබීම හේතුවෙන් වගා හානි සිදු වූ උක් ගොවීන්ට වන්දි මුදල් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, ගිනි තැබීමෙන් විනාශ වී ඇති නිශ්චිත උක් ප්‍රමාණයන් හා වගා හානි සිදු වී ඇති උක් ගොවීන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා උක් පර්යේෂණ ආයතනයේ සහ සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත්, ගිනි තැබීම නිසා විනාශ වූ උක් මෙට්‍රික්ටොන් එකක් සඳහා රුපියල් 7,000/-ක් බැගින් වන්දි මුදලක් එම ගොවීන් වෙත ලබා දීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් වගාවන්ට කිසියම් පිරිසක් විසින් 2025 අගෝස්තු 16, 20, 21, 22, 24 සහ සැප්තැම්බර් 04 හා 05 යන දිනයන්හිදී ගිනි තැබීම් සිදු කර ඇති බවට වාර්තා වී ඇත.
ඒ හේතුවෙන් ගොවීන් 235 දෙනෙකුට පමණ අයත් උක් මෙට්‍රික්ටොන් 19,000ක් පමණ හානියට පත් වී ඇති බව ඇස්තමේන්තු කර තිබුණි.
ගින්නෙන් විනාශ වූ උක් පළමු පැය 24 ඇතුළත පමණක් ඇඹරීම සිදු කළ යුතු බැවින්, ගිනි තැබීමෙන් විනාශ වූ උක් මිල දී ගෙන ඇඹරීම 2025‑08‑30 දිනෙන් අවසන් කර තිබේ.
ඒ හේතුවෙන්, උක් වගාවන් හානි වූ ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර, හානි වූ වගාවන් සඳහා ඔවුන්ට වන්දි මුදලක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු විය.