අයථා වත්කම් උපයා ගැනීම ගැන කෙහෙළියගේ පවුලට එරෙහි නඩුව ඔක්තෝබර් 01 කැඳවීමට නියෝග

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් 01 යළි කැඳවීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

අදාළ නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, නඩු විභාගය සඳහා අවශ්‍ය බවට විත්ති පාර්ශ්වය විසින් ඉල්ලා සිටි ලේඛන කිහිපයක් පැමිණිල්ල විසින් විත්ති පාර්ශ්වයට විවෘත අධිකරණය හමුවේ භාර දී ඇති බවයි සඳහන් වන්නේ.

තවත් අවශ්‍ය ලේඛන වේ නම්, ඒ සම්බන්ධව සති 02 ක් ඇතුළත අධිකරණයට දන්වා සිටින ලෙසට විනිසුරුවරිය විසින් විත්ති පාර්ශ්වයට නියම කළ අතර, නඩුව යළිත් ඔක්තෝබර් 01 වැනිදා කැඳවීමට දින නියම කර තිබෙනවා.

2020 වසරේ අගෝස්තු මස 13 වනදා සිට 2024 වසරේ ජුනි මස 24 වනදා දක්වා කාල සීමාව තුළ ජනමාධ්‍ය , සෞඛ්‍ය හා පරිසර අමාත්‍යංශ වල කටයුතු කරමින් අයථා ලෙස  රුපියල් මිලියන 97 කට අධික වත්කම් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින්  හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා , ඔහුගේ දියණියන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.