කෝටි 14ක නිවාස 2ක්
ලක්ෂ 180ක ජීප් රියක්
අල්ලස් කොමිසම කියයි
හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා විසින් හෙළි කළ නොහැකි වත්කම් මඟින් මිලදී ගෙන ඇති රුපියල් කෝටි 14කට අධික වටිනාකමකින් යුතු නිවාස 2ක්, එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා මුදල්, ඩිස්කවරි ජීප් රථයක් මෙන්ම බැංකු ගිණුම් 4ක්, බිරියට අයත් ගිණුම් 4ක් ඇතුළු දේපළ රැසක් පවතින බව අල්ලස් කොමිසම පවසයි.
මේ නිවාස දෙක කොළඹ 07, ධර්මපාල මාවතේ ඇති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් මිලදී ගෙන ඇති අතර, එයින් එක් නිවෙසක් රුපියල් කෝටි 8ක් සහ අනෙක් නිවෙස රුපියල් හය කෝටි පනස්ලක්ෂයක් වේ.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ සමයේදී මාස 21ක කාලයක් තුළ ඔහු මෙසේ රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගෙන ඇතැයි දූෂණය වරද යටතේ අල්ලස් කොමිසම ඔහුට එරෙහිව සිදු කළ විමර්ශනවලින් අනාවරණය කර ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ඇමැති ධුරය දරන සමයේදී රමිත් රඹුක්වැල්ල ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබූ බව පවසන කොමිසම මේ විමර්ශන සඳහා ප්‍රකාශ ගණනාවක් මේ වන විටත් සටහන් කර ඇතැයි ද කියයි. 2022 ජනවාරි මස 01 වැනිදා සහ 2023 නොවැම්බර් මස 14 වැනිදා දක්වා මාස 21ක කාලසීමාව තුළ ඔහු රුපියල් 296,566,444.76ක් වටිනා වත්කම් සහ දේපළ මෙසේ උපයාගෙන ඇතැයි ද, එම වටිනාකමකින් යුත් මුදල් හා දේපළ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට රමිත් රඹුක්වැල්ල අපොහොසත් වී ඇතැයි ද කොමිසම වැඩිදුරටත් කියයි.
ඒ අනුව අල්ලස් කොමිසම මහාධිකරණය හමුවේ දූෂණ විරෝධී පනත යටතේ අධිචෝදනා පසුගිය 12 වැනිදා ගොනු කර තිබිණි. එසේම ඔහුගේ හා බිරියගේ නම්වලින් ඇති බැංකු ගිණුම්වල ස්ථාවර තැන්පතු ආරම්භ කර ඇති බව අනාවරණය වී ඇතැයි ද අල්ලස් කොමිසම කියා සිටි අතර, තවත් අංශ ගණනාවක් ඔස්සේ මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ද කීවේය.
සුභාෂිණී සේනානායක