ගාල්ල නිවාස සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිවාස (තාක්ෂණික) නිලධාරියෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සිදු කළ පැමිණිල්ලක් අනුව, පැමිණිලිකරුගේ නිවස ඉදිකිරීම සඳහා නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 10 ක ආධාර මුදල ලබාදීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය හා නිර්දේශ ලබා දීමට අදාළ නිලධාරියා විසින් රුපියල් 50,000 ක අල්ලසක් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, අදාළ ආධාර මුදලේ පළමු වාරිකය ලෙස රුපියල් 146,000 ක මුදලක් පසුගිය අගෝස්තු 19 වැනිදා පැමිණිලිකරු ලබා ගන්නා අවස්ථාවේදී, ඉන් රුපියල් 25,000ක මුදලක් එම නිලධාරියා අල්ලස් වශයෙන් ලබාගෙන තිබෙනවා.
පසුව, ඉතිරි මුදල ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරදීම සහ නිර්දේශය ලබාදීම වෙනුවෙන් රුපියල් 25,000ක මුදලක් ඉල්ලා, එය ලබා ගන්නා අවස්ථාවේදී, ගාල්ල නිවාස සංවර්ධන අධිකාරියේ අදාළ නිලධාරියා අද (15) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.