මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයන් 13ක්

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල තවත් ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු රඳවාගෙන සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, සංචාරක වීසා මත පැමිණි පිරිසක් මෙලෙස එම සයිබර් කඳවුරුවල රඳවාගෙන සිටින බවට වාර්තා වී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මියන්මාරයේ මියාවඩි ප්‍රදේශය ආසන්නයේ ඇති සයිබර් කඳවුරු ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් පාලනය කරන අතර, මීට පෙරද එහි සිටි ශ්‍රී ලාංකිකයන් රැසක් මුදා ගැනීමට කටයුතු කර තිබුණා.

පරිගණක ක්ෂේත්‍රයේ රැකියා ලබා ගැනීමේ අරමුණින් සංචාරක වීසා මත විදෙස් ගත වන පිරිස් මෙවැනි ජාවාරම්කරුවන්ට හසු වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.