ශ්‍රීලංකන් ගුවන් සේවයේ බැඳුම්කර සම්බන්ධයෙන් මතභේදයක්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඩොලර් මිලියන 175ක් වටිනා සහ රජයේ ඇප මත නිකුත් කර තිබූ 2024 ජූනි 25 දින කල් ඉකුත් වූ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට නොහැකි වනු ඇතැයි වෙළඳපොළ විශ්වාස කළද, එම බැඳුම්කර මුදල් සම්පූර්ණයෙන් ගෙවීමට නොහැකි බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසනවා.

Bondsupermart විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්තවලට අනුව, මෙම බැඳුම්කර සඳහා වූ ඉල්ලුම් මිල 2024 දෙසැම්බරයේදී ඇමෙරිකානු ශත 71ක් පමණ වූ අතර, එය පසුගිය බ්‍රහස්පතින්දා වන විට ඇමෙරිකානු ශත් 105.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ බැඳුම්කර හිමියන්ගේ Ad Hoc Group අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බවත් වාර්තා වන අතර, දෙපාර්ශවයේ ඉල්ලීම් අතර විශාල පරතරයක් පැවතීම ඊට හේතුව බවයි සඳහන්.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ කියා සිටියේ, ගුවන් සේවය වසර ගණනාවක් තිස්සේ ලැබූ පාඩු පියවා ගැනීමට මෙම මුදල් යොදාගෙන ඇති බැවින් බැඳුම්කර සම්පූර්ණයෙන් ගෙවීමට ඔවුන්ට නොහැකි බවයි.

මෙම පාඩු ප්‍රමාණය ඩොලර් බිලියන 2 ඉක්මවන බවද ඔහු සඳහන් කර තිබෙනවා.

“මෙය ස්වෛරී ඇපයක් මත නිකුත් වූවක්. ඒ නිසා තමයි අපි Lazard සමාගම පත් කළේ. ඒ නිසා අපි බැඳුම්කර හිමියන්ට ඉදිරිපත් කරන ඕනෑම යෝජනාවක් භාණ්ඩාගාරයේ අනුමැතියට යටත් විය යුතුයි. මොකද ගුවන් සේවයට බැඳුම්කර ගෙවන්න බැරි වුණොත් මේ වගකීම භාරගන්න වෙන්නේ භාණ්ඩාගාරයටයි,” යනුවෙන් ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

බැඳුම්කර හිමියන්ගේ Ad Hoc Group සමඟ සාකච්ඡා ඇණහිට ඇති නමුත්, මූල්‍ය උපදේශක Lazard සමාගම දිගින් දිගටම ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වන බව ඔහු එහිදී සඳහන් කළා.

බැඳුම්කර හිමියන්ට දැනටමත් පිරිනමා ඇති දේට වඩා වැඩි යමක් පිරිනැමීමට ගුවන් සේවයට නොහැකි බව ද ඔහු අවධාරණය කළ අතර, “ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශේෂ පත්‍රය බැලුවොත් එහි ශුද්ධ වටිනාකම සෘණ අගයක් ගන්නවා,” යනුවෙන් ඔහු පෙන්වා දී තිබෙනවා..