කෝටි 21ක රන් බිස්කට් සමඟ ගුවන්තොටුපොළ සේවකයෙකු අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයෙකු රුපියල් විසි එක් කෝටි පන් ලක්ෂ විසි හතර දහස් පන් සිය හැත්තෑ පහයි ශත තිස් පහක් වටිනා රන් බිස්කට් තොගයක් තම දෙකකුළෙහි සගවා ගෙන අද (14) උදෑසන කටුනායකට ගුවන් තොටුපොළෙන්  පිට කර ගෙන යමින් සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

මොහු මීගමුව , කදවල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙකු වන අතර , ඔහු සිවිල් ගුවන් ආරක්ෂක සේවා සංවිධානයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන්නෙකි.

ඔහු  කැරට් 24 ගුණාත්මක අගයකින් යුතු රන් බිස්කට් 51 ක් තම දෙකකුළෙහි විශේෂ වෙළුම් පටි වලින් ඔතා ගෙන , ඒවා යළි සිය මේස් වලින් වසා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කාර්යය පිටව යාමට ඇති විශේෂ කවුළුවෙන් පිට වී යමින් සිටියදී අද (14) උදෑසන 06.50 ට ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම රන් බිස්කට් කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 941 ක බරකින් යුතු අතර මේවා කිසියම් පුද්ගලයෙකු මොහුට ගුවන් තොටුපොළෙන් පිට කර දීම සදහා භාර දෙන්නට ඇතැයි ද එසේම මොහු දිගු කළක් තිස්සේ මෙම ජාවාරම කර ගෙන යන්නට ඇතැයි ද රේගු නිලධාරීහු සැක පහළ කරති.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.