උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම ගැන CID යෙන් අධිකරණයට දැනුම්දීමක්

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීමට මෙම අවස්ථාවේ තීරණය කර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව සඳහන් කරමින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතාව මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් තීරණයක් ගෙන නොමැති බවයි.

විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බවත් අවසන් තීන්දුවක් ඉන් පසුව ලබාගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන 17 වනදා දක්වා කල්තැබිණි.