පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (12) දිනයේත් රැස්වීමට නියමිතයි.

ඒ අනුව, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වීමට නියමිත අතර, පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා.

පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉන්පසුව, අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් සඳහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා කාලය වෙන් කර තිබෙනවා. 

ඒ අනුව, අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, පී. දයාරත්න, ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි, එම්.එච්. සේගු ඉසඩීන් සහ විජයසුන්දර බණ්ඩාර රණතුංග වෙනුවෙන් ශෝක යෝජනා පළ කිරීමට නියමිතයි.

අනතුරුව, පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩුව විසින් ගෙනෙන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.