පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන දෙකකට අධික මුදලක් නියමිත වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා, නීතිඥයකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (11) අවසර ලබා දී තිබෙනවා.
අදාළ පෙත්සම අද අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා සපයනු ලැබූ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු නියමිත වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම සම්බන්ධයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.
අදාළ විදුලි ගාස්තුව මේ වන විට ගෙවා අවසන් කර ඇති බැවින්, අදාළ ක්‍රියාව තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ප්‍රකාශයක් පමණක් මෙම නඩුකරයෙන් අපේක්ෂා කරන බවයි නීතිඥවරයා සඳහන් කර සිටියේ.
අදාළ විදුලි ගාස්තු මේ වන විට ගෙවා අවසන් කර තිබෙන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද සඳහන් කර ඇති අතර, දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දී තිබෙනවා.
නීතිඥ විජිත කුමාර විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
සාමාන්‍ය මහජනතාවගේ කුඩා වටිනාකම්වලින් යුත් විදුලි බිල් පවා නියමිත වේලාවට නොගෙවූ විට ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීම් සිදු කරන බවත්, එහෙත්, මෙතරම් විශාල විදුලි ගාස්තුවක් නියමිත වේලාවට අයකර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු නොකිරීම බරපතළ වරදක් බවත්, ලංකා විදුලිබල මණ්ඩලයේ මෙම අසාමාන්‍ය ක්‍රියා කලාපය තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා සිටිනවා.