මොරටුව මහනගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිය හිතවතුන්ට ලබා දීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (10) නියෝග කළේය.
අල්ලස් කොමිසම විසින් දූෂණය නමැති වරද සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
සාක්ෂි කිහිපයක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සටහන් කිරීමට නියමිත බවත් එම සාක්ෂිවලට බලපෑම් කිරීමට සැකකරුට හැකියාවක් ඇති බවටත් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමට අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
සැකකරුගේ හිටපු ලේකම්වරයෙක් මේ වනවිට මොරටුව නාගරික කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන බවත් සාක්ෂි සටහන් කිරීමට ඇත්තේ නගර සභාවේ නිලධාරීන්ගෙන් බවත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිය හිතවතුන්ට ලබා දීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මඟ නැඟුම නාගරික අභ්‍යන්තර මාර්ග හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනට කොන්ත්‍රාත්තු 112ක් තම අභිමතය පරිදි ප්‍රජාපාදක සමිති 12කට ප්රදානය කරමින් රජයට පාඩු කළ බවට වන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබා දෙන ලෙසට කොමිසම කළ දැනුම් දීමකට අනුව පැමිණි ඒ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
සැකකාර හිටපු නගරාධිපතිවරයා අදාළ කොන්ත්‍රාත් ප්රදානය කර මුදල් ගෙවීමේදී ගිවිසුම්ගත පාර්ශ්වයට හැර වෙනත් පාර්ශ්ව වෙත මුදල් රෙගුලාසිවලට පටහැණි ලෙස මුදල් ගෙවා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ ව්‍යාපෘති සඳහා නීතිවිරෝධි ලෙසත් අයුතුසහගත ලෙසත් මැදිහත්වීමෙන් එම කොන්ත්‍රාත්තුව සඳහා තම හිතවතුන්ගෙන් රුපියල් 34ට මිලදී ගත් බිම් අතුරුම් ගල් රුපියල් 37ට අලෙවි කිරිමෙන් අයුතු ලාභයක් ලබා ඇතැයිද ‘දූෂණය’ නමැති වරද සිදුකර ඇතැයි ද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.
2017 වසරේ දී මොරටුව නගර සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කළ පැමිණිල්ලක් අනුව අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර තිබේ. ඒ අනුව අල්ලස් කොමිසම කළ දැනුම් දීමකට අනුව මොරටුව හිටපු නගරාධිපතිවරයා අල්ලස් කොමිසමට පසුගිය 09 වනදා කැඳවූ බවත් වැඩිදුර ප්‍රකාශයක් ගැනීමට ඊයේ දින කැඳවූ බවත් අල්ලස් කොමිසම කීය. එහිදී දූෂණය නමැති වරද යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවත් දන්වා සිටියේය.
මෙහිදි කරුණු දක්වමින් අල්ලස් කොමිසමේ සහකාර නීති නිලධාරිනි ලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය මෙසේ කරුණු දැක්වීය.
“මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සමිති සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 105ක මුදල් සිය අතරමැදි පාර්ශ්වයන් වන සිය හිතවතුන්ට ලබා දී තිබෙනවා. ප්‍රසිද්ධ ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව හිතවතුන් 8 දෙනකුට ව්‍යාපෘති 12 ලබා දී තිබෙන්නේ. මෙම මාර්ගවලට අතුරන ලද කුට්ටි ගල් සැපයුම් කර තිබෙන්නේද සැකකරු විසින්. එම කුට්ටි ගල් ආයතන හතරක් හරහා ගෙන්වා සැපයුම්කරුවන්ට සමිතිවලට ගෙවිය යුතු වන මුදලින් ඍජුව ගෙවීම් කර තිබෙනවා. එලෙස ගෙවීම් අදිමදි කළ නිලධාරීන්ට බලපෑම් කර මුදල් ගෙවීම් සිදු කර තිබෙන්නේ.
සියයට 5ක මුදලක් සමිති තුළ රඳවා ගැනීමක් සිදු වුවද මෙහිදී එම මුදල් පවා රඳවා ගෙන නොමැතිව ඍජුව ගෙවීම් සිදු කරලා. කුට්ටි ගලක් රුපියල් 34කට මිලදී ගෙන මොහු එක් ගලකින් රුපියල් 03ක මුදලක් ඔහු තබා ගෙන තිබෙනවා. මේ සියලු දේ කර තිබෙන්නේ රජයේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින්. එලෙස උප කොන්ත්‍රාත්කරුවන්ට මෙලෙස ව්‍යාපෘති පවරා දීමට අවසර නැති වුවද ඔහු එසේ සිදු කරලා.
ගිවිසුම්ගත වූ අයට නොදී වෙනත් පාර්ශ්වයන්ට ව්‍යාපෘතිය භාර දීලා. නීත්‍යනුකූල ක්‍රමවේදයෙන් බැහැරව මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් තමන්ට සහ වෙනත් පාර්ශ්වයන්ට වාසි වන අයුරින් රජයට පාඩු සිදු කරමින් මේ නීත්‍යනුකූල නොවන ගනුදෙනුව සිදු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන බැවින් සාක්ෂි සටහන් කරගැනීමේදී සාක්ෂිකරුවන්ට බලපෑම් විය හැකියි. සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම කරුණු දක්වමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥවරුන් අධීකරණයට පෙන්වා දුන්නේ ඇප ප්රදානය කිරීමට එරෙහිව කිසිදු කරුණක් අල්ලස් කොමිසම ඉදිරිපත් නොකළ බැවින් සැකකරුවකු ඇප මත මුදාහරින ලෙසය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා,
“ඇප පනතේ 14 වගන්තිය අනුව ඇප ප්‍රතික්ෂේප කිරීමට කරුණු නැහැ. මේ සිද්ධිය සිදුව තිබෙන්නේ 2013 වසරේදී. 2017 වසරේදී පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ. ඔහු අත්අඩංගුවට ගන්නේ වසර 12ට පසුව. එදා සිට මේ වනතෙක් කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් කළ බවට කරුණු දක්වා නැහැ. 8 වනදා කළ එක් දිනක දැනුම් දීමකට අනුව අපි 9 දා එහි ගියා. අදත් අපිට එන්න කිවුවා අපි ගියා.
අපි සැඟවුණේ නැහැ. දැනුම් දීමට අනුව එහි ගියා. අල්ලස් කොමිසම මනඃකල්පිත ලෝකයක සිට මේ බලපෑම් කරනවා කියා කියන්නේ. බලපෑම් කරා නම් ඕනෑ තරම් කාලය තිබුණා බලපෑම් කරන්න. මගේ සේවාදායකයාට පෙර වැරදි නැහැ. මේ මුදල් ගෙවා තිබෙන්නේ මගේ සේවාදායකයා නෙවෙයි නාගරික කොමසාරිස්වරයා විසින්. මුදල් කමිටුවට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරනවා.
මේ මුදල් වෙන්කර තිබෙන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට යටතේ තිබෙන මඟ නැඟුම මුදල්වලින්. මේ ව්‍යාපෘතිය නිම කරේ නැත්නම් මුදල් නැවත වසර අවසානයේ අමාත්‍යාංශයට භාර දිය යුතුයි. ඔහු කර තිබෙන්නේ කඩිනම් කර මාර්ග ටික සංවර්ධනය කිරීම පමණයි. ගල් දුන්නා කියා කිවුවා. ඒ කාලේ ගල් හිඟයක් තිබුණා. ඔහු කළේ මේ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම පමණයි. ඒ අනුවයි මැදිහත් වී තිබෙන්නේ.”
සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස නීතිඥ මඬුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකාර සමන්ලාල් ප්‍රනාන්දු මහතා ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය. එදිනට විමර්ශනවලට අදාළ සාක්ෂි ලබා ගෙන වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.