මාධ්‍යවේදිනියගේ සැමියාගේ ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්න: උස‍ාවියෙන් CIDයට නියෝග

මාධ්‍යවේදිනියකගේ සැමියාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මරණයට හේතුව මොට බලයක් යොදා හිසට සිදුකරන ලද පහරදීමකින් සිදුවූ මරණයක් බවට පෙනී යන බැවින් කඩිනමින් විමර්ශනයක් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ඒ අනුව එම සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

සිද්ධියට අදාළව වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ, මරණකරුගේ හිසට සිදුවු මෙම පහර දීම නිසා හිසෙහි දකුණු පැත්තෙහි රුධිර වහනයක් වීමෙන් සිදුවූ මරණයක් බවට මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇති බවයි.

එම වාර්තාවට අනුව මෙම මරණය යම්කිසි පිරිසක් විසින් කරන ලද අපරාධයක් මඟින් සිදුව ඇති බවට පෙනී යන හෙයින් කඩිනමින් විමර්ශන කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ,මාධ්‍යවේදිනියගේ සැමියා වන ඒ හේමජීව යන අය පසුගිය ජනවාරි මස 3 වන දින දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලෙහි වැටී සිට ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය‍ගොස් තිබූ බවයි.

මේම සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරිවරයකුගේ සාක්ෂි සටහන් කර ගැනීමද අද (10) අධිකරණයේදී සිදු කෙරුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මඟින් මරණය සම්බන්ධව කිසිදු අපරාධයක තොරතුරක් අනාවරණය නොවූවද මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මෙය අපරාධයක් බවට පෙනී යන බවයි.

මරණකරු මිය යෑමට පෙර එදින අදාළ නීතිඥවරියගේ නිවස දෙසට යන ආකාරය CCTV දර්ශනවල සටහන්ව තිබෙනවා නම් ඔහු නිවස දෙස සිට නැවත මාර්ගයට පැමිණි බවට එහි නිවැසියන් පවසයි නම් ඔහු පැමිණි බවට පැවසෙන CCTV දර්ශන ලබා ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු නොකළේ මන්දැයි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසා සිටියා.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරැණු ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියා.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ගීත්ම ප්‍රනාන්දු,වරුණ ජයසිංහ, අරුණි රණසිංහ යන නීතිඥ මහත්ම මහත්මීන් පෙනී සිටියා.