මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව යළි ලබන 15 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව, අදාළ නඩුව අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන මේ වනවිට භාර දී තිබෙන බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්යක්ෂ ජනරාල්වරිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මෙහිදී, විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන ගණනාවක් මේ දක්වා ලබා දී නොමැති බවයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම අධිකරණයට දැනුම් දුන්නේ.
අදාළ ලේඛන විත්තියට ලබා දී ඇත්දැයි නිසි පරිදි පරීක්ෂා කර ඊළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසත්, එම ලේඛන මේ දක්වා ලබා දී නොමැති නම් ඒවා විත්තිය වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් විනිසුරුවරිය විසින් අල්ලස් කොමිසමේ නීතිඥවරියට දැනුම් දී තිබෙනවා.
කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ කාලය තුළ අයථා ලෙස රුපියල් මිලියන 97කට ආසන්න වත්කම්, බැංකු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු සහ වාහන අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.