- පොහොට්ටු ලොක්කන් කිහිපදෙනකුගේ සම්බන්ධීකරණ ලේකම් විදිහටත් ඉඳලා
- හිටපු පොහොට්ටු මන්ත්‍රී දවස් 7ක් රඳවාගෙන ප්‍රශ්න කරයි
මිද්දෙණිය, තලාව, කාරියමඩිත්තේ ඉඩමක වළ දමා තිබියදී හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට මෙරටට රැගෙන ආ බව කියන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක ගැන අමෙරිකානු බුද්ධි ඒජන්සියක් මඟින් මෙරටට කල් තියා දැනුම්දීමක් කර ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
කන්ටේනර් අංක මෙන්ම මේ කන්ටේනර් දෙක ඉරානයේ ටෙහෙරාන් සිට මෙරටට එවා ඇති බවත්, ඒ තුළ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඇති බවත් එම බුද්ධි තොරතුරු මඟින් දැනුම්දී තිබේ.
මේ බුද්ධි ඒජන්සිය ඉන්දියාව කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන එකක් බවත්, මීට පෙර ද එම බුද්ධි අංශය විසින් සාර්ථක තොරතුරු මෙරටට දී ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මේ තොරතුර එම බුද්ධි ඒජන්සිය විසින් දී ඇතැයි පැවසෙන්නේ ඉකුත් වසරේ අග හෝ මේ වසරේ මුලදීය. ඒ වන විටත් එම කන්ටේනර් දෙක වරායෙන් නිදහස් කර තිබී නැත. මේ ගැන පොලිස් බලධාරීන් වහාම ක්‍රියාත්මක වී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ද සහාය ඇතිව රේගු භාරයේ තිබු එම කන්ටේනර් දැඩි පරීක්ෂාවකට ද ලක් කර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මෙන්ම ශ්‍රී ලංකා රේගුව ද මේ කන්ටේනර්වල තිබූ යම් කුඩු වර්ගයක් මත්ද්‍රව්‍ය පරීක්ෂා කරන උපකරණ මඟින් පරීක්ෂා කර ඇති බව ද සඳහන්ය. එහෙත් එම උපකරණ මඟින් එහි මත්ද්‍රව්‍යයක් හෝ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනිකයක් ඇති බව තහවුරු කර නැති බැවින් එම කන්ටේනර් මුදා හැරීමට පියවර ගෙන ඇති බව මෙතෙක් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙහි සාම්පල රජයේ රස පරීක්ෂක වෙත ද යොමු කර ඇති බව පැවසේ.
මේ කන්ටේනර් තුළ රැගෙන ආ ද්‍රව්‍ය කුමක්දැයි පැහැදිලි නැතත් මේ තුළ අයිස් කිලෝ 2000කට වැඩි ප්‍රමාණයක් ඇති බව බුද්ධි ඒජන්සිය මඟින් දැනුම්වත් කර තිබී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ කන්ටේනර් මෙරටදී පරීක්ෂාවට ලක් කළ බවත්, එහි කිසිදු මත්ද්‍රව්‍යයක් තිබී හමු නොවූ බවත් මෙරටින් අදාළ බුද්ධි ඒජන්සිය එකලම දැනුම්වත් කර ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මේ කන්ටේනරය මේ වසරේ ජනවාරි 27 වැනිදා රේගු භාරයෙන් මුදා හැර ඇති බව ද සඳහන්ය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවයේ නිරතව සිට මේ වන විට පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ද මේ කන්ටේනර් දෙකේ මත්ද්‍රව්‍ය ඇති බවට එහි අංක ද සහිතව පොලිස්පතිවරයාට තොරතුරක් යොමු කර ඇත. මේ බුද්ධි තොරතුර පසුගිය අගෝස්තු මාසයේදී යොමු කර තිබී ඇත්තේ ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණ දෙන නිලධාරිනිය ලෙස එකල සේවයේ නිරතව සිටි වත්මන් නියෝජ්‍ය පොලිස්පති දර්ශිකා කුමාරි මහත්මිය මඟිනි.
මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන ලෙස පොලිස්පතිවරයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට දැනුම්දී තිබී ඇති බව ද සඳහන්ය. එහිදී අදාළ තොරතුරු පාර්ශ්ව වෙත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උසස් නිලධාරියෙක් පවසා ඇත්තේ එම තොරතුර ඊට කලින් තමන් වෙත ලැබුණු බවත්, කන්ටේනර් දෙක පරීක්ෂා කර කිසිවක් නොවූ බැවින් මුදා හැරිය බවත්ය. එම තොරතුර ව්‍යාජ තොරතුරක් බව ද එම උසස් නිලධාරියා පවසා ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය. කන්ටේනර් දෙක නිදහස් කර ගෙන ගියේ බාස් කෙනෙක් බව ද එහිදී පවසා ඇත.
මේ කන්ටේනර් දෙක මෙරටට එවා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ විසින් බවත්, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට මේ කන්ටේනර් තුළ රසායනික ද්‍රව්‍ය රැගෙනවිත් ඇති බවත් හෙළි කර ගන්නේ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා අධ්‍යක්ෂ ධුරය දරන බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයෙනි. ඒ ඔවුන් භාරයේ සිටින ඉන්දුනීසියාවේ සිට රැගෙන ආ බැකෝ සමන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේදීය. බැකෝ සමන් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරටදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට සූදානම් වූ බවත්, ඒ සඳහා නුවරඑළියෙන් නිවාසයක් ද කුලියට ගත් බවත්ය. අයිස් නිෂ්පාදනය සඳහා සහාය වීමට පකිස්තානුවන් දෙදෙනෙක් ද මෙරටට ගෙන්වා ගත් බවත්ය. අයිස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඉරානයේ සිට මෙරටට ගෙන්වූ බවත්, එම කන්ටේනර් දෙක කොළඹ වරායෙන් නිදහස් කිරීමෙන් පසු මිද්දෙණියට රැගෙන ගිය බවත් බැකෝ සමන් පවසා තිබේ. එම කන්ටේනර් දෙක සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගිය සති අන්තයේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මිද්දෙණියට යන විට කන්ටේනර් දෙක තිබූ ස්ථානවලින් අතුරුදන්ව ඇති බව පෙනී ගොස් ඇත. විමර්ශනවලින් අනාවරණය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ලෙස 2019 වසරේ කටයුතු කළ මේ වන විට ලී ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටින පුද්ගලයෙක් වන පියල් සේනාධීර නමැත්තා සහ ඔහුගේ සහෝදරයෙක් වන අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවට මෙරවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සම්පත් ප්‍රීති විරාජ් මනම්පේරි යන දෙදෙනා විසින් කන්ටේනර් දෙක තිබූ ස්ථානයෙන් අස්ථාන ගත කර ඇති බවය.
ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකදී හෙළිවන්නේ කොහෙල්බද්දර පද්මේ විසින් නුවරඑළියේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බවට වූ ප්‍රවෘත්තිය මාධ්‍යයෙන් ප්‍රසිද්ධ වීමත් සමඟ මොවුන් දෙදෙනා විසින් මේ කන්ටේනර් දෙක තාප්පයකින් වට කරන ලද හිස් ඉඩමකට රැගෙන ගොස් එහි වළක් කපා ඒ තුළට කන්ටේනර් දෙකේ ඇති ද්‍රව්‍ය දමා වසා ඇති බවය. එම ස්ථානය කොන්ක්‍රීට් කිරීමට ද සූදානම් කර ඇති බව ද පොලිස් නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණි.
ඒ තැන හඳුනාගත් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පසුගිය සිකුරාදා එම ස්ථානයේ කැණීමක් කර වළ දමා තිබු යම් සුදු පැහැති කැට වර්ගයක් මතු කර ගන්නේ ඒවා අයිස් නිෂ්පාදනයට රැගෙන ආ රසායනික ද්‍රව්‍ය බවට සැක මතු කරමිනි. කන්ටේනර් දෙකේම කිලෝ 50,000ක පමණ වූ ප්‍රමාණයක් එම ද්‍රව්‍යවල තිබී ඇති බව පෙනී යන්නට විය.
මේ ස්ථානයට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ රසායනාගාර පරීක්ෂකවරුන් ගෙන්වා කළ පරීක්ෂාවේදී සාම්පල් 20කින් 05කම අයිස් මත්ද්‍රව්‍යය අඩංගු සංඝටකයක් වන මෙතැන්පිටමින් තිබී ඇතැයි තහවුරු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී, නීතිවේදී උදය කුමාර වුඩ්ලර් මහතා පැවසීය.
වළ දමා තිබු එම ද්‍රව්‍ය සියල්ල ගොඩගෙන ඇති අතර, ඒ සියල්ල රසායනාගාර පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂක වෙත ද යොමු කිරීමට පියවර ගෙන තිබිණි.
ඒ අතර මේ කන්ටේනර් දෙකේ තිබු ද්‍රව්‍ය වළ දැමීමට සම්බන්ධ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් සේනාධීර පෙරේදා (06) දහවල් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු සමත් වූහ. ඔහුගේ සහෝදරයා කොටු කර ගැනීමට ඊයේ දිනයේ ද මෙහෙයුමක් ක්‍රියාත්මකව පැවතිණි. ඔහු ශ්‍රී ලංකා පොලීසියේ සේවයේ නිරතව සිටි නිලධාරියෙක් බව ද සඳහන්ය. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් නඩරාජ් මහතාට නාරාහේන්පිටදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද සැකපිට ඔහුව එකල අත්අඩංගුවට ගෙන සිට ඇත. එවකට ඔහු ප්‍රභූ ආරක්ෂක ඒකකයක සේවය කර ඇත. පසුව ඔහු නිදහස් වී ඇති බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය. ශ්‍රී ලංකා පොදු පෙරමුණේ හිටපු මැති ඇමැතිවරුන් රැසක් සමඟ ඉතා කිට්ටුවෙන් මේ සැකකරු ඇසුරු කර ඇති බවටත්, ඇතැම් දේශපාලනඥයන්ගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් ද මොහු කටයුතු කර ඇති බවටත් තොරතුරු ඇති බව සඳහන්ය.
කුප්‍රකට ගජනායක කල්ලියට මොහු සම්බන්ධව සිටි බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පොහොට්ටු අපේක්ෂක පියල් මනම්පේරි දින හතක් රඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) අවසර ලබා දී තිබේ.