සංවිධානාත්මක අපරාධකරුවෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් රඳවා ගැනීමට තීරණය කර ඇති බව නීතිපතිවරයා අද (08) කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර විසින් මෙම දැනුම්දීම සිදු කර ඇති බව සඳහන්.
මෙම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවේදී, රජයේ නීතිඥවරයා දැනුම්දී තිබුණේ විත්තිකරුට එරෙහිව නිකුත් කර තිබූ රැඳවුම් නියෝගය අවසන් වූ පසු ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීමට කටයුතු කරන ලෙසයි.
එහෙත්, මෙම සැකකරුගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඔහු රැඳවුම් භාරයේම රඳවා ගැනීමට ආරක්ෂක ලේකම්වරයා තීරණය කර ඇති බව රජයේ නීතිඥවරයා අද නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට දැනුම් දුන් අතර, එම දැනුම්දීම සම්බන්ධයෙන් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ දැඩි විරෝධය පළ කර තිබෙනවා.
ඒ අනුව, විත්තිකරු තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ තවදුරටත් රඳවා ගැනීමට නියමිත බව අධිකරණයට දැනුම් දුන් අතර, නඩු විභාගය සඳහා විත්තිකාර නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
වැඩිදුර නඩු විභාගය ලබන 24 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.