එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk ශ්‍රී ලංකාවේ කළ සංචාරයෙන් පසු, මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවට අදාළව, රජයේ නිල පිළිතුර භාරදී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, බාහිර මැදිහත්වීම්, ජාතික වශයෙන් ක්‍රියාත්මක වන ප්රයත්නයන්ට බාධාවක් වන බවත්, ජනතාව ධ්‍රැවීකරණය කිරීමට පමණක් හේතුවන බවත් ශ්‍රී ලංකා රජය පෙන්වා දෙනවා.
මේ හේතුවෙන්, වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිගමන සහ නිර්දේශ සමඟ ශ්‍රී ලංකා රජය එකඟ නොවන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් රජයේ නිල පිළිතුර ලෙස සඳහන් කර ඇත්තේ.
ජාතිය, ආගම, පන්තිය සහ කුලය මත පදනම් වූ කිසිදු බෙදීමකින් තොරව, සිය ජනතාවගේ විවිධත්වයට ගරු කරන සහ එය භුක්ති විඳින රටක් ගොඩ නැගීමට රජයට ජනවරමක් ලැබී ඇති බවත්, ඒ සඳහා අවංකවම කැප වී සිටින බවත්, ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය හෝ අන්තවාදය නැවත ඇතිවීමට ඉඩ නොදීම රජයේ ප්‍රධාන අධිෂ්ඨානයක් ලෙසත් එහි පෙන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකාව දේශීය ක්‍රියාවලියක් තුළින් ඉදිරියට යන බැවින්, ජාත්‍යන්තර ප්‍රජාවේ අවබෝධය, දිරිගැන්වීම සහ සහයෝගය සාදරයෙන් පිළිගන්නා සහ අගය කරන බවයි එම පිළිතුරු ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ සම්පූර්ණ පිළිතුරු ප්‍රකාශය සඳහා මෙතැනින් පිවිසෙන්න.