දර්ශිකාට-පද්මිණීට රේණුකාට-නිශානිට නි.පොලිස්පති තනතුරු

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ ප්‍රථම නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රි­යන් ලෙස අභි­ෂේක ලබ­න්නට නිල­ධා­රි­නි­යෝ සිවුදෙනෙකු සමත්වූහ. එම නිල­ධා­රි­නි­යන් වන්නේ දර්ශිකා කුමාරි, පද්මිණි වීර­සූ­රිය, රේණුකා ජය­සු­න්දර සහ නිශානි සෙනෙ­වි­රත්න යන මහ­ත්මීන්ය.

මේ නිල­ධා­රි­නි­යන් සිවුදෙනා නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යට උසස් කිරී­මට අදාළ නියෝග පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහතා විසින් පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා රාත්‍රී නිකුත් කළේය. මේ උස­ස්වීම් මේ නිල­ධා­රි­නි­යන්ට ලැබී ඇත්තේ පැවති සම්මුඛ පරී­ක්ෂ­ණ­යෙන් ඉහ­ළම ලකුණු ලබා­ගෙ­නයි. ශ්‍රී ලංකා පොලී­සියේ සංයු­ති­යට අනුව කාන්තා නියෝජ්‍ය පොලි­ස්පති ධුර ඇත්තේ 04ක් පමණි. එම හතර පසු­ගිය කාලයේ වැඩ බලන පද­නම මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ව­රි­යන් සිවුදෙන­කුට දී තිබුණි.

මේ නිල­ධා­රි­නි­යන් අත­රින් දර්ශිකා කුමාරි හැරුණු කොට සෙසු නිල­ධා­රි­නි­යන් තිදෙ­නාම වැඩ බලන නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රි­යන් ලෙස මෙතෙක් සේවයේ නිරත වූවාය. සම්මුඛ පරී­ක්ෂ­ණ­යෙන් වැඩිම ලකුණු ගනි­මින් නියෝජ්‍ය පොලි­ස්ප­ති­නි­යන් අතර පළමු තැනට පත්ව ඇත්තේ ද ඇය වීම විශේ­ෂි­තය.

ශ්‍රී ලංකා පොලී­සියේ ප්‍රථම නියෝජ්‍ය පොලි­ස්පති ලෙස හඳුන්වා දුන් බිම්සානි ජාසිං­හ­ආ­රච්චි මහ­ත්මි­යට මෙහිදී ස්ථිර නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රි­යක් ලෙස උස­ස්වීම් ලබා නැත. ඇය 2020 වසරේ සිට ශ්‍රී ලංකා පොලී­සියේ වැඩ බලන නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රි­යක් ලෙස සේවයේ නිර­තව සිටි­යාය. පොලිස් සේවයේ කාන්තා නිල­ධා­රීන්ට නියෝජ්‍ය පොලි­ස්පති පුර­ප්පාඩු ඇත්තේ හත­රක් බැවින් ඇයට සිදුව ඇත්තේ නැවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස සේවයේ නිරත වන්න­ටය.

ඇය වැඩ බලන නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රි­යක් ලෙස පවා ඉහ­ළට එන්නේ පොලිස් සේවය තුළ තමාට සිදු වූ බව කියන අසා­ධා­ර­ණ­කම් ගැන අධි­ක­ර­ණ­යට කරුණු කියා අධි­ක­රණ නියෝ­ග­ය­කට අනු­වයි. ඇය නැවත වරක් මේ තත්ත්වය මත අධි­ක­ර­ණ­යට යෑමේ සූදා­න­ම­කින් සිටින බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

කාන්තා නිල­ධා­රි­නි­යන් සිවුදෙනෙක් නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යට උසස් කිරී­මට අදාළ නියෝ­ගය පොලි­ස්පති, නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා විසින් නිකුත් කරන්නේ ජාතික පොලිස් කොමි­ෂන් සභාව විසින් අනු­මත කර දුන් ලැයි­ස්තු­වට අනු­වයි. එසේ නොමැ­තිව පොලි­ස්ප­ති­ව­රයා විසින් ඔහුට වුව­මනා අය නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යන්ට උසස් කර පත්වීම් දෙමින් බිම්සානි නොස­ලකා නොවන බව පොලිස් මූල­ස්ථා­නයේ උසස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

ඒ අනුව මෙතෙක් බිම්සා­නිට නාමි­කව ලැබී තිබූ ශ්‍රී ලංකා පොලී­සියේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය තන­තුරේ කිරුළ කාන්තා නිල­ධා­රීන් සිවුදෙනකු සමව බෙදා යනු ඇත. ඒ අතර ඉහ­ළින්ම සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී දර්ශිකා කුමා­රිය. ඇය පොලිස් ක්ෂේත්‍ර බළකා මූල­ස්ථා­නයේ ප්‍රථම කාන්තා අණ­දෙන නිල­ධා­රි­නිය ලෙස සේවයේ නිර­තව සිටි­යාය.

දෙවැනි තැන රැඳී සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී පද්මිණි වීර­සූ­රිය මහ­ත්මි­යයි. ඇය මේ වන විටත් කළු­තර දිසාවේ වැඩ බලන නියෝජ්‍ය පොලි­ස්පති ලෙස සේවයේ නිර­තව සිටි­න්නීය. මෙරට ඉති­හා­සයේ කාන්තා නිල­ධා­රි­නි­යක් දිස්ත්‍රි­ක්ක­යක් භාරව කට­යුතු කර ඇත්නම් ඒ පළමු නිල­ධා­රි­නිය වන්නේ ඇයයි. එසේම ඇය වාර්තා පොත් අත­රට එකතු වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ එතෙක් මෙතෙක් බිහි වූ පළමු කාන්තා විම­ර්ශන අධ්‍යක්ෂ ලෙසයි.

ඉති­හා­ස­යට එක්වූ තුන්වැනි නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රිය වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී රේණුකා ජය­සු­න්දර මහ­ත්මි­යයි. ඇය මේ වන විට ළමා හා කාන්තා අප­යෝ­ජන නිවා­රණ දිසාවේ වැඩ බලන නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රිය ලෙස කට­යුතු කර­මින් සිටි­යාය.

මේ කණ්ඩා­යමේ සිවුවැන්නිය වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී නිශානි සෙනෙ­වි­රත්ත මහ­ත්මි­යයි. පර්යේ­ෂණ හා තොර­තුරු කොට්ඨා­සයේ ප්‍රධා­නියා ලෙස ඇය ද වැඩ බලන නියෝජ්‍ය පොලි­ස්ප­ති­නි­යක් ලෙස සේවයේ නිර­තව සිටි­යාය. සබ­ර­ග­මුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ලෙස සේවයේ නිරත මහින්ද ගුණ­රත්න මහතා ඇගේ සැමි­යාය.

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ අලුත්ම වාර්තා­වක් තබන මේ නිල­ධා­රි­නි­යන් සිවුදෙනා පොලී­සි­යට එක්වන්නේ ද පොලිස් ඉති­හා­සයේ වාර්තා­වක් තබ­මිනි. ඒ ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ ප්‍රථම ආධු­නික උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රි­යන්ගේ කණ්ඩා­යමේ ද මේ සිවුදෙනාම නියෝ­ජ­නය කර­මිනි. ඒ 1997 වස­රේ­දීය. මේ සිවුදෙනා ලද උස­ස්වීම මේ වසරේ ජන­වාරි 01 වැනිදා සිට බල­පැ­වැ­ත්වෙන බව පොලි­ස්ප­ති­ව­රයා විසින් නිකුත් කළ නියෝ­ගයේ දැක්වේ.

ශ්‍රී ලංකා පොලී­සියේ මේ වන විට කාන්තා නිල­ධා­රි­නි­යන් වෙනු­වෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යක් පුර­ප්පා­ඩුව පවතී. මේ තන­තුර සඳහා මෙතෙක් ඉති­හා­සයේ කිසිදු කාන්තා නිල­ධා­රි­නි­යක් පත්ව නැත. එම අව­ස්ථාව හිමි­වන්නේ මේ නිල­ධා­රි­නි­යන් සිවුදෙනා­ගෙන් එක් අය­කු­ටය. නියෝජ්‍ය පොලි­ස්පති ධුරයේ වසර 03ක සේවා කාල­යක් සම්පූර්ණ කිරී­මෙන් අන­තු­රුව එම තන­තුර මේ සිවුදෙනා­ගෙන් අය­කුට ලැබෙනු ඇත.