කෝටි තුනක මැණික් ඉස්සූ සැකකරු කොටුවෙයි

බේරුවල චීන කොටුව මැණික් වෙන්දේසි පොළෙහි මැණික් ගනුදෙනු කළ චීන ජාතික කාන්තාවකට සහ ඇගේ හවුල්කරුවාට අයත් රුපියල් කෝටි තුනක් වටිනා මැණික් තොගයක් එම නිවසට පැන සොරකම් කළ සැකකරුවෙකු සෙනසුරාදා රාත්‍රියේ අත්අඩංගුවටගත් බවයි බේරුවල පොලීසිය සඳහන් කරන්නේ.

බේරුවල, හෙට්ටිමුල්ල මල්ලබොක්ක පාරේ පිහිටි මෙම නිවසේ සිටි විදෙස් ජාතිකයන් දිනපතා බේරුවල චීන කොටුවේ මැණික් වෙන්දේසි පොළ වෙත යෑම පුරුද්දක් ලෙස සිදුකොට තිබෙනවා. එවන් අවස්ථාවක නිවසේ තිබූ රුපියල් කෝටි තුනක මැණික් තොගයක් කිසියම් අයෙකු නිවසේ ප්‍රධාන දොර ඇර නිවසට ඇතුළු වී සොරකම් කර ඇතැයි චීන කාන්තාව පසුගිය දා බේරුවල පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වී ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණය කොට සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන එම මැණික් තොගයද පොලිස් භාරයට ගත් බවයි බේරුවල පොලිස් ස්ථානාධිපති එම්.ආර්. නවරත්න පවසන්නේ.

කෙසේවෙතත් සැකකරු ඒ වන විටත් එම මැණික් තොගය බේරුවල, මහගොඩ ප්‍රදේශයේ දෙවන පාර්ශ්වයකට ලබා දී, අලෙවි කර පසු මුදල් ලබා ගැනීමේ පොරොන්දුව මත එතෙක් සුළු අත්තිකාරම් මුදලක්ද ලබාගෙන තිබූ බවයි පොලීසිය සඳහන් කලේ.

පොලීසිය පවසන පරිදි සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම සොරකමට අදාළව වරද පිළිගෙන ඇති අතර, සැකකරු තදින් හෙරොයින් පානයට ඇබ්බැහි වූවෙක්. අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරනවා.

මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

කළුතර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි, පත්මිණි රණවීර, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කාවින්ද පියසේකර, පොලිස් අධිකාරි රමිඳු සිල්වා, සහකාර පොලිස් අධිකාරි සුනෙත් ශාන්ත යන අයගේ උපදෙස් පරිදි බේරුවල පොලිස් ස්ථානාධිපති එම්.ආර්. නවරත්න, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මදුශංක, පොලිස් සැරයන් සිල්වා (53241), පොලිස් කොස්තාපල් කුමාර (84179) ඇතුළු පිරිස මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට සැකකරු සම්බන්ධ අධිකරණ කටයුතු පොලිස් පරීක්ෂක චන්දන තෙන්නකෝන් විසින් මෙහෙයවනු ලබනවා.