දවසේ සිව්වැනි වෙඩිල්ල අළුබෝමුල්ලෙන්..

අද දවසේ සිව් වැනි වෙඩිල්ල පානදුර අළුබෝමුල්ලේ වෙළඳසලකට උදෑසන 9.15ට පමණ එල්ලවී තිබුණා.

එම වෙළද සැළට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් මෙම වෙඩි තැබීම කර තිබෙනවා.

මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන වෙඩි හතරක් පමණ වෙළඳසලට එල්ලකර තිබූ අතර, එම අවස්ථාවේදී වෙළඳ සැලේ 68 හැවිරිදි කාන්තාවක් සිට ඇතත් ඇයට කිසිදු හානියක් සිදුව නැතැයි වාර්තා වෙනවා.

වෙඩික්කරු පැමිණ ඇත්තේම වෙළඳසලට වෙඩි තබා බිය ගැන්වීමට බව පෙනී ගොස් ඇතැයි පොලිස් විමර්ශකයින් පවසනවා.

හිස් පතොරම් කොපු 04ක්ද සජීවී පතොරමක්ද එම ස්ථානයේ තිබී හමුවී තිබෙනවා.

මෙම වෙඩිතැබීමට පෙර අද (06) අළුයම 1.00ට පමණ මීගමුව කට්ටුව ප්‍රදේශයේ බන්ධනාගරය පිටුපස පිහිටි නිවෙසකට ද වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

එම නිවෙසේ ජනේලයක වීදුරුවකට මෙම වෙඩි තැබීමෙන් හානි වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

පංචිකාවත්තේදී අද (06) අළුයම 2.00ට පමණ ද තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සෙන්දිල් මෝහන් නොහොත් බායි සුරේෂ් නැමැත්තා ඉලක්කරගෙන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් එම වෙඩිල්ල තබා ඇතැයි පොලිසිය සඳහන් කරනවා. එම අවස්ථාවේදී ඔහු මාර්ගයේ රැදී සිට ඇති අතර, වෙඩි වැදී තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබුණා.

මේ අතර, ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ඔරලෝසු කණුව අසලදී මධ්‍යම රාත්‍රී කාලයේදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

පාලිත පුෂ්පකුමාර නමැති 27 හැවිරිදි වියේ පසුවන අයෙක් මෙසේ මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරනවා. යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

මෙම වෙඩි තැබීම් 04ටම පාතාල සම්බන්ධකම් ඇති බව පෙනී ගොස් ඇතැයි පොලිසිය පවසනවා.