සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගෙන්වූ රසායන ද්‍රව්‍ය තොගයක් බවට සැකකරන කන්ටේනර් දෙක, මෑතකදී ආන්දෝලනයට තුඩුදුන් රේගුවෙන් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද කන්ටේනර් 323ට අදාළ කන්ටේනර් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පවසනවා.
නුවරඑළියේ ඉදිකළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තශාලාවට යොදාගැනීමට මේවා ගෙන ආ බවට සැකකෙරෙන අතර, එම රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50,000ක් පමණ මිද්දෙණිය තලාව ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබිය දී බස්නාහිර උතුර අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් සොයාගනු ලැබුවා.
“2025 වසරේදි කන්ටේනර් 323ක් නිදහස් කිරීම ගැන සමාජයේ යම්කිසි මතයක් තිබුණා. නමුත් මේ කන්ටේනර් දෙක ඊට සම්බන්ධ නෑ. මොකද ඒ කන්ටේනර්වල අංකයක් සමඟින් අපි පරීක්ෂා කිරීම සිදුකරනවා. මොකද ඒ කන්ටේනර් 323 සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්‍ෂණයක් පැවැත්වූවා. ඊට අනුගත අංකවලට පරිබාහිර වෙනත් අංක දෙකක් තමයි එහි තිබුණේ. ඒ නිසා එම 323ට මේ කන්ටේනර් කිසිදු සම්බන්ධයක් නෑ.” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියා.
අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන බැකෝ සමන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත සිදුකළ මෙම වැටලීමෙහිදී අදාළ රසායන ද්‍රව්‍ය ගබඩා කළ කන්ටේනර් දෙක සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
මෙම කන්ටේනර් දෙකේ තිබූ රසායන ද්‍රව්‍යවලින් කොටසක් වළ දමා ඇති බවට විමර්ශකයන්ට ලැබුණු තොරතුරු අනුව විමර්ශන ඉදිරියට ගෙනගොස් තිබුණා.
මෙම කන්ටේනර් රථ දෙක ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇත්තේ ඉකුත් ජනවාරි මස 22 වැනිදා බවයි පැවසෙන්නේ.
එය පසුව මිද්දෙනිය ප්‍රදේශයේ ඉඩමක් වෙත රැගෙන ගොස් රසායන ද්‍රව්‍ය කන්ටේනර් රථවලට ගබඩා කරගෙන සිට ඇති බව ද සඳහන්.