බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය වන කැතරින් ආර්යාව අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය වන කැතරින් ආර්යාව 92 වන වියේදී අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබෙනවා.

ඇය ඊයේ (04) රාත්‍රියේ කෙන්සිංටන් මාලිගයේදී පවුලේ සාමාජිකයන් සමඟ සාමකාමීව අවසන් හුස්ම හෙළූ බවත්, ඒ හේතුවෙන් බකිංහැම් මාලිගය ඇතුළු රාජකීය නිල නිවාසවල ධජ අඩකුඹු කර ඇති බවත් මාලිගය නිවේදනය කළා.

වේල්සයේ කුමරු සහ කුමරිය ප්‍රකාශ කළේ, ඇය පවුලේ බොහෝ දෙනෙකුට නැතිවම බැරි සාමාජිකාවක් වූ බවත්, අන් අයට උදව් කිරීමට වෙහෙස නොබලා කටයුතු කළ බවත්, සංගීතයට තිබූ ඇගේ ආදරය හරහා බොහෝ කටයුතුවලට සහයෝගය දුන් බවයි.

දිවංගත දෙවන එලිසබෙත් රැජිනගේ පළමු ඥාති සොහොයුරෙකු වන කෙන්ට් ආදිපාද එඩ්වඩ් කුමරුගේ භාර්යාව වන කැතරින් ආර්යාව, රාජකීය පවුලේ වයස්ගතම සාමාජිකාවද වනවා.