එලොන් මස්ක්ට ලොව පළමු ට්‍රිලියනපතියා විය හැකියි – විදෙස් මාධ්‍ය

ටෙස්ලා අධ්‍යක්ෂ මණ්ඩලය වැටුප් පැකේජයක් යෝජනා කරමින් සඳහන් කර ඇත්තේ, එහි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ඉතා අභිලාෂකාමී ආයතනික ඉලක්ක මාලාවක් සපුරා ගන්නේ නම්, ඔහු ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත් කළ හැකි බවයි.

මේ වනවිටත් ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන මස්ක්ට, පැකේජයේ සම්පූර්ණ වටිනාකම ලබා ගැනීම සඳහා ඉදිරි දශකය තුළ ටෙස්ලා කොටස් වෙළෙඳපොළ වටිනාකම අට ගුණයකින් වැඩි කිරීමට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

සියලුම වැටුප් ටෙස්ලා කොටස් හරහා ලැබෙනු ඇති.

සමාගමේ කොටස් හිමියන් විසින් අනුමත කළ යුතු මෙම පැකේජය නොවැම්බර් 6 වන දින පැවැත්වෙන වාර්ෂික රැස්වීමකදී ඡන්ද විමසීමකට ලක් කිරීමට අපේක්ෂා කෙරෙන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ෆෝබ්ස් සඟරාවට අනුව, මස්ක්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 400කට වඩා අධිකයි.

ටෙස්ලාහි කොටස් වෙළෙඳපොළ වටිනාකම අද වන විට ඩොලර් ට්‍රිලියන 1.1 සිට ඩොලර් ට්‍රිලියන 8.5 දක්වා ඉහළ නැංවීමට ඔහු සමත් වුවහොත්, නව වැටුප එම වත්කමට ඩොලර් බිලියන 900 ක් පමණ එකතු කළ හැකි බවට සඳහන්.

එය ආයතනික ඉතිහාසයේ ඕනෑම විධායකයෙකුට හිමි ධනවත්ම වැටුප් මුදල වනු ඇති.

තවද එය ටෙස්ලාහි සියයට 29කට ආසන්න ප්‍රමාණයක් ඔහුට හිමි කර දිය හැකියි.

ඕනෑම කොටසක මුදල් ලබා ගැනීමට මස්ක්ට අවම වශයෙන් අවුරුදු හතහමාරක් ටෙස්ලාහි රැඳී සිටීමට සිදුවනු ඇති අතර, සම්පූර්ණ මුදල උපයා ගැනීමට වසර 10ක් ගතවනු ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.