ඇල්ල ප්‍රදේශයේ ඊයේ (04) සිදු වූ මාරක රිය අනතුර පිළිබඳ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සිය ශෝකය පළකරමින් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු සියලු ම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි එම නිවේදනය මගින් විපක්ෂනායකවරයා සඳහන්කර සිටියේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තැබූ සටහන පහතින්.
”ඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුර පිළිබඳ අප අතිශය ශෝකයට පත්වන්නෙමු. ඇල්ල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී අවාසනාවන්ත ලෙස සිදු වූ මාරක බස් රථ අනතුරින් මියගිය තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු සියලු ම දෙනාට අප නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටින්නෙමු. ඒ අතර ම මෙම අවාසනාවන්ත සිදුවීමත් සමඟ බස් රථයේ ගමන් කළ පිරිසගේ ජිවිත බේරා ගැනීමට කඩිනමින් ක්‍රියාත්මක වූ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වලටත්, මුදා ගැනීමේ කණ්ඩායම්වලටත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටත්, ඇල්ල ප්‍රදේශයේ ජනතාවටත් අපගේ ගෞරවය සහ කෘතවේදීත්වය පළ කර සිටින්නෙමු. විපතේ දී අනෙකාට උදව් කිරීමේ අප සතු උතුම් ගුණාංගය යළි, යළිත් පසක් කළ අවස්ථාවක් ලෙස මම මෙය දකිමි. මෙම ඛේදවාචකයෙන් මියගිය සහ තුවාල ලැබූ සහ විපතට පත් වූ පවුල්වල සාමාජිකයින්, ඔවුන්ගේ ඥාතීන් සහ තංගල්ල නගර සභාවේ සියලු ම දෙනා සමඟ මෙම ශෝකාකූල අවස්ථාවේ දුක බෙදා ගැනීමට සියලු ශ්‍රී ලාංකික ජනතාව එක්වන බව මාගේ විශ්වාසය යි. මෙවැනි අවාසනාවන්ත රිය අනතුරු රැසක් මේ වසරේ ගෙවුණු කාල සීමාවේ අපට අසන්නට ලැබුණු අතර, එවැනි සිදුවීම් අවම කරගැනීමට ගත හැකි සියලු පියවරයන් සහ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් අප සියලු දෙනා සුදානම් බව ද මේ අවස්ථාවේ අවධාරණය කරන්නෙමු. අවසාන වශයෙන් යළිත් මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය සියලු දෙනාට නිවන්සුව ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.”