අගමැතිනිය සහ ඉතාලියේ නියෝජ්‍ය මහලේකම් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Maria Tripodi මහත්මිය අතර හමුවක් ඊයේ (04) වැනි දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

දේශපාලන උපදේශන සඳහා අවස්ථාවැඩි  කිරීම, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව පුළුල් කිරීම, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතික හා අධ්‍යාපනික හුවමාරු ශක්තිමත් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ දූෂණයෙන් තොර ස්ථාවර ජාතියක් ඉදිරියට ගෙන යාම සඳහා වන වත්මන් රජයේ වැඩපිළිවෙල පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය  මෙහිදී අවධාරණය කළා ය.

යුරෝපා සංගමය සමඟ පවතින සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත්කම  පිළිබඳ සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, ඉතාලිය සමඟ  පවතින  දිගුකාලීන  මිත්‍රත්වය අගය කරමින් ජාත්‍යන්තර සංසදවලදී ශ්‍රී ලංකාවේ සහයෝගය ලබා දීම පිලිබඳවද අදහස් දැක්වීය. Tripodi මහත්මිය ද ශ්‍රී ලංකාවේ මෑත කාලීන ප්‍රගතිය පැසසුමට ලක් කළ අතර, වත්මන් වැඩපිලිවෙල සඳහා ඉතාලියේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති Damiano Francovig ඇතුළු ඉතාලි රජය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත,  විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයේ යුරෝපය සහ උතුරු අමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න එම අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ, ඉසුරිකා කරුණාරත්න  යන මහත්ම මහත්මීන්  මෙම අවස්ථාවට සහභාගී විය.