විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍ය මාරියා ත්රිපොඩිගේ සම සභාපතිත්වයෙන් ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පැවති දේශපාලන උපදේශනවල පළමු වටය අද (4) සාර්ථකව අවසන් වුනා.
උපදේශන ආරම්භ කිරීමට පෙර නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා විසින් දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද අතර එමඟින් දෙරට අතර සංවාදය සඳහා විධිමත් ව්‍යුහගත රාමුවක් සපයන ලදී.
දේශපාලන උපදේශනවලදී, ශ්‍රී ලංකාව සහ ඉතාලිය ශ්‍රම බලකායේ සංචලතාව, වෙළඳාම, ආයෝජනය, සංචාරක, ආරක්ෂක, බලශක්ති, ආහාර සුරක්ෂිතතාව, සංස්කෘතිය සහ අධ්‍යාපනය යන අංශවල ආයතනික සහයෝගීතාව වැඩි කිරීම සඳහා මාර්ග හඳුනාගෙන තිබෙනවා.
දෙරට අතර ආරක්ෂිත, තිරසාර සංක්‍රමණය සහතික කිරීම සඳහා සංක්‍රමණ සහ සංචලතා හවුල්කාරිත්වය පිළිබඳ අවබෝධතා ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමටද සාකච්ඡා කළා.
අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරු අදහස් හුවමාරු කර ගත්තා.
ඉතාලියේ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රම බලකායට අඛණ්ඩව ලබා දෙන සහාය සඳහා ශ්‍රී ලංකා පාර්ශවය ඉතාලියට ස්තූති කළ අතර ඉතාලියේ ගුණාත්මක හා වෘත්තීය ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රම බලකායේ දායකත්වය නියෝජ්‍ය අමාත්‍ය ත්රිපෝඩි අගය කළා.
ඉතාලි නියෝජ්‍ය ඇමති ත්රිපෝඩිගේ සංචාරය 2016 වසරෙන් පසු ඉතාලියේ ඉහළ මට්ටමේ ප්රභූවරයෙකු විසින් කොළඹට කරන ලද පළමු සංචාරයයි.
ඉතාලිය ශ්‍රී ලංකාවේ පස්වන විශාලතම අපනයන වෙළඳපොළ වන අතර ආයෝජන සහ සංචාරක කටයුතු සඳහා ප්‍රධාන වෙළඳපොළකි.