පාතාලයන් අල්ලද්දී නාමල්ලා බය වෙන්නෙ ඇයි?

පාතාලයන් අත්අඩංගුවට ගැනීමේදී නාමල් රාජපක්ෂලා ඇතුළු විපක්ෂය බියට පත්ව තිබෙන්නේ කුමක් නිසාදැයි රටම දන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. තමන්ගේ අතේ වරදක් නැති කිසි කෙනෙක් බිය විය යුතු නැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

“නාමල් රාජපක්ෂලා කොයිතරම් කලබලයට පත්වුණාද කියනවා නම් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් පාතාලයේ ප්‍රබලයන් පිරිසක් ලංකාවට රැගෙන ආ වෙලාවේ ඇමැතිවරයා ගුවන්තොටුපළට ගිය හේතුවත් ඔහුට පැටලුණා. ඇමැතිවරයා ගියේ ඒ මෙහෙයුමට සහාය දුන් ඉන්දුනීසියානු පොලීසියේ හා බුද්ධි අංශ නිලධාරීන්ට සිය ගෞරවය හා ආචාරය පුද කරන්න. ඒක තේරුම් ගන්නවත් නාමල්ට කලබලය නිසා බැරි වුණා” යැයිද අමාත්‍යවරයා කීය.

“අත්අඩංගුවට ගත් පිරිසගෙන් පොලීසිය ප්‍රශ්න කරගෙන යනවා. එවිට බොහෝ දේවල් හෙළිදරව් වේවි. ඒවා ගැන පොලීසිය ඉදිරියේදී රටට ප්‍රකාශ කරාවි. අපි කියන්නේ වරදක් නැති අය කලබල වෙන්න එපා කියලා” යැයි ද එහි දී ඇමැතිවරයා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. කේ.පී. රැගෙන ආ වේලාවේදීත් එකල රජය මේ තරම් නැටුවේ නැතැයි නාමල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයන් පිළිබඳ මාධ්‍ය‍වේදියා නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.