පද්මේගේ නුවරඑළිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය වටලයි

කෙහෙල්බද්දර පද්මේ විසින් මුදල් ආයෝජනය කර නුවරඑළියේ පවත්වාගෙන ගියේ යැයි හෙළිවී ඇති අයිස් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ ස්ථානය හඳුනාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්ව ඇත. මෙම ස්ථානයේ පාකිස්තානුවන් දෙදෙනකුද අයිස් නිෂ්පාදනයේ යෙදී සිට ඇති බව අනාවරණය වී ඇත.

කුලියට ගත් නි‍ෙවසක මෙම අයිස් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ මෙරට අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ තනි අයිතිය කෙහෙල්බද්දර පද්මේ විසින් සියතට ගැනීමේ අපේක්ෂාවෙන් බවට සැක කරයි. නුවරඑළියේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට මුල්වූ කෙහෙල්බද්දර පද්මේගේ හවුල්කරුවන් ද හඳුනාගනිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කළේය. එම හවුල්කරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුමක් ද මේ වන විට ක්‍රියාත්මක බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තශාලාව සඳහා රුපියල් මිලියන 04ක මුදලක් කෙහෙල්බද්දර පද්මේ විසින් ආයෝජනය කර ඇතැයි අනාවරණය වී තිබෙන බව විමර්ශනවලදී සොයාගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පැවසීය. මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය පවත්වාගෙන යෑමට නුවරඑළිය ප්‍රදේශයේ නි‍ෙවසක් කුලියට ගෙන ඇති බවත්, ඒ සඳහා රසායන ද්‍රව්‍ය කිලෝ 2000කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවත් ඇමැතිවරයා කියා සිටියේය. අයිස් මත්ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කරන බව අවස්ථා කිහිපයකදීම පොලීසිය අනාවරණය කරගෙන තිබිණි.

අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙරට නීතියක් ක්‍රියාත්මකව නොතිබුණු 2000 දශකයේ මුල කොස්ගම පිහිටි කර්මාන්තපුරය ආශ්‍රිතව කොරියන් ජාතිකයන් පිරිසක් විසින් අයිස් නිෂ්පාදනය කර තිබුණු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හෙළිකරගෙන තිබිණි. නීතියක් නොමැතිකම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් එකල නිසි ක්‍රියාමාර්ග නොගත්තත් කොරියන් සමාගමට එම සමාගම හකුළාගෙන යෑමට වැඩ සිදුව තිබුණි.

අනතුරුව නැවතත් මෙරට අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමක් ගැන තොරතුරු අනාවරණය වන්නේ, 2023 වසරේ අප්‍රේල් 21 වැනිදා පොලීසිය කළ වැටලීමකදීය. මට්ටක්කුලියේ පිහිටි නි‍ෙවසක් තුළ ඉතා රහසිගතව අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර තිබුණේ 61 හැවිරිදි වියේ පසුවූ ඉංජිනේරුවරයෙකි. පොලීසිය මේ තැන වටලන විට අයිස් නිෂ්පාදනය සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය බැරල් 02ක් ද තිබී ඇත.

නැවතත් මෙරට අයිස් නිෂ්පාදනය කිරීමේ ස්ථානයක් ගැන තොරතුරු අනාවරණය වන්නේ, 2024 වසරේ මැයි 14 වැනිදාය. යාපනය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලියේ සාමාජිකයන් සොයා යාපනය ඉනුවිල්හි පිහිටි නි‍ෙවසක් වැටලීමේදී එම නි‍ෙවසේ කාමරයක අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බව අනාවරණය විය.

මාලබේ පිහිටි නිවාස සංකීර්ණයක නි‍ෙවසක ද අයිස් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් තිබුණේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ද ලබාසිටි කෝටිපති ව්‍යාපාරිකයෙකි. අයිස් නිෂ්පාදනය කිරීම සඳහා එම නි‍ෙවස ඔහු මිලදී ගෙන තිබුණු බව එකල පැවති විමර්ශනවලින් පෙනී ගොස් තිබුණි.

වැඩි කාලයක් සිය බිරිය ජීවත්වූ කැනඩාවේත් දියණිය ජීවත්වූ එංගලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් ගතකරන ඔහු මෙරටට පැමිණ ගත කරන සුළු කාලය තුළ අයිස් නිෂ්පාදනය කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබුණි. කිසිවකුටත් හොරා පවත්වාගෙන ගිය මාලබේ නි‍ෙවසේ අයිස් නිෂ්පාදනය ගැන තොරතුරු හෙළි වන්නේ 2024 වසරේ අගෝස්තු 12 වෙනිදා එම නි‍ෙවස තුළ සිදුවූ පිපුරුමක් හේතුවෙනි.

අයිස් නිෂ්පාදනයේදී ඇතිවූ රසායනික සංසිද්ධියක් මත ඇතිවූ එම පිපුරුමෙන්, ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා සිටි එම අයිස් නිෂ්පාදනය කළ පුද්ගලයා ද ඔහුගේ රියැදුරු බව කියන පුද්ගලයා ද මියගියහ.

නැවතත් මෙරට අයිස් නිෂ්පාදනාගාරයක් ගැන තොරතුරු හෙළි වන්නේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල අපරාධකරුවන් ඉන්දුනීසියාවේ සිට අල්ලාගෙන මෙරටට රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන ප්‍රශ්න කිරීම් හමුවේය.