මහවෙල සහ දොඩම්ගස්ලන්ද නව තැපැල් කාර්යාල සඳහා මුල්ගල තැබීම 7වැනිදා

මාතලේ දිස්ත්‍රික්කයේ මහවෙල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද නව තැපැල් කාර්යාල ගොඩනැගිලි සඳහා මුල්ගල තැබීම මෙම මස 07 වන ඉරිදා පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරීමට යෝජිත මහවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 14.41 ක් වන අතර දොඩම්ගස්ලන්දට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 14 කි.

වත්මන් මහවෙල තැපැල් කාර්යාලය මේ වන විට කුලී පදනම මත ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන අතර එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මෙන් ම පවතින ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත්, එමෙන් ම දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ අවශ්‍යතා පරිදි නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

වත්මන් රජය මෙවර අයවැයෙන් තැපැල් දෙපාර්තුමේන්තුවේ නව ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 600 ක මුදලක් වෙන්කර ඇත.