පරණ පුරුද්ද අතහරින්න බැරි නම්, පොලිස් සේවයෙන් ඉවත් වෙන්න – ජනපති

මත්ද්‍රව්‍ය උවදුර නිසා මුළු සමාජයම මහා වසංගතයකට ගොදුරු වෙමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

විශාල බලාපොරොත්තු සහිතව හදා වඩා ගන්නා දරුවන්, හිරිමල් වයසේදීම මත්ද්‍රව්‍යවල ගොදුරු බවට පත් වී ඇති බවයි 159 වැනි පොලිස් දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යම් ප්‍රමාණයකට පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ද හිමි වී ඇති බවත්, නමුත් පොලිස් නිලධාරීන් සිටින්නේ මත්කුඩු ව්‍යසනය නතර කිරීමේ දිශාවේ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එවැනි රාජකාරියක් උර දරා සිටින පොලිස් නිලධාරීන්, මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම සඳහා ආරක්ෂකයන් සහ රැකවලුන් බවට පත් වෙනවා නම්, එය ඛේදවාචකයක් බවත්, පැරණි පුරුද්ද අත්හරින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

එම පුරුද්ද අත්හැරීමට නොහැකි නම්, පොලීසියේ වෘත්තිය අත්හරින ලෙසත්, එලෙස වෘත්තිය අත්හැරීමට නොහැකි නම් පොලීසියෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.